බිඳවැටීම සිතීමේ නිමේශයක් කරා...
![]() |
| Vangogh shoes1885 |
කල්ප- හරිම හිස් කමක් දැනෙනවා. ඇයි මම ජීවත් වෙන්නේ? මම කවුද? කියලා හිතෙනවා.
උපේක්ෂා - කල්ප මේක තමයි හොඳම වෙලාව. මාටින් හෛඩැගර් කියන විසිවන සියවසේ දාර්ශනිකයා කියල තියනවා අපිට යමක සැබෑ පැවැත්ම නිරාවරණ වෙන්නේ දෝෂයක් ඇති වූණාම කියලා. මේ දැන් ඇවිල්ලා තියෙන්නෙත් ඒවගේ අවස්ථාවක්. ටිකක් කල්පනා කරා බලන්න.
කල්ප- මොකක්?
උපේක්ෂා - ඒ කියන්නේ ඔයා මට කතා කරන ස්මාර්ට් ෆෝන් එක වැඩ කරන් නැති වුණා කියල හිතන්නකො. එතකොට ෆෝන් එක නිසා ඇති වුණ සියලුම සම්බන්ධතා බිඳ වැටෙනවා. එතකොට ෆෝන් එක දිහා ඔයා බලන්නේ භාවිතා කරද්දි අඳුරගත්ත විදියට නෙවෙයි. ඔයාගේ ඉස්සරහට ගෙනල්ලා යාන්ත්‍රික උපකරණයක් විදිහට. එතකොට ඔයාට ෆෝන් එකෙන් කෝල් එකක් ගද්දි කවදාවත් නොහිතුණු, ආවරණය වෙලා තිබ්බ දේවල් තේරෙන්න ගන්නවා. මේ උපකරණය ඇත්තටම මොකද්ද කියලා අදහසක් ඇති කරගන්න පුළුවන් වෙනවා. මේ ලැබිලා තියෙන්නේ තමන් ගැන ම එහෙම හිතන්න වෙලාවක්. ඇත්තටම ඔයා කවුද කියලා හිතන්න පුළුවන් වෙලාවක්.
මාස ගානක් ගෙදරට වෙලා ඉන්න මම වෙනදා ගත කරපු කාර්යයබහුල ජීවිතෙන් ගැලවිලා. උදෙන්ම අවදිවෙලා වැඩට යන්නෑ. ඔෆිස් එකේ මට පැවරුනු වැඩේ කරලා, කෝච්චියෙ හිරවෙලා ගෙදර එන්නෑ. උපේක්ෂා කිව්වා හරි දැන් හොදම වෙලාව මම කියන්නේ කවුද කියලා හිතලා බලන්න. ම්..... ඇත්තටම මට දැනෙන්නේ මම කියන්නේ විශ්වාසයන් ගොඩක එකතුවක් කියලා. මම ඉස්සරහ පිනුම් ගහන ලොකුම ප්‍රශ්නයක් තමයි මගේ විශ්වාස මට තවදුරටත් පවත්වාගන යන්න බැරිකම. ඒ මේ කොරෝනා වසංගතයට බලපෑම් කරන්න ඒ කිසිම බලවේගයකට බැරි වෙච්ච නිසයි.
මගේ තාත්තා ගුරුන්නාන්සේ කෙනෙක්. තොවිල් පවිල් වලට විතරක් නෙවෙයි යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් වලටත් ප්‍රසිද්ධයි. ඒත් දැන්නම් මොන යකා ගෙන්නලවත් මේ ලෙඬේ මෙල්ල කරන්න බැරි පාටයි. මම දැක්කා ලග්න පලාපල කියන ප්‍රසිද්ධ ජෝතිෂ්‍යවේදියෙකුත් කොරෝනා බිහිවෙලා තියෙන්නේ වල්ගාතරුවකින් කියලා කිව්වා. විද්‍යාවටත් අභියෝග කරලා ආගමෙන් ලෙඩ සුව කරන්න පුළුවන් කියන සමහර වෛද්‍යවරුන් අපේ රටේ ඉන්නවා. දැන් නම් මට හොඳින්ම පැහැදිලියි මේවා මිත්‍යාවන් කියලා.
ලංකාවේ මේ වෙනකොට හොදින් අඳුරගන්න පුළුවන් බලපෑම් කණ්ඩායමක් විදිහට සිංහල බෞද්ධ ආගමික නායකත්වය කැපී පේනවා. රාජ්‍ය යාන්ත්‍රනය වුනත් ඒ මත දිවයන්න තරම් එය බලවත්. නමුත් කොච්චර බලවත් වුනත් නාග ලෝකයෙන් ධාතු ගෙනල්ලා තැම්පත් කරලා ඉන්න අපිට, අහසින් ඇවිත් පිරිත්පැන් ඉස්සත් මේ වසංගතය දුරු කරන්න තවම බැරි වෙලා. මොකද වසංගතයට හොඳින් මුහුණ දෙන්න තියන එකම ක්‍රමය සෞඛ්‍ය උපදෙස් පිලිපැදීම පමණක් ම බව දිනෙන් දිනම තහවුරු වන නිසා.කර්මය, දෙවියන්ගේ කැමැත්තක විශ්වාස කරන කතෝලික, ස්ලාම්, හින්දු ආදී බොහෝ ආගම් මුහුණ දෙන්නෙත් මේ හා සමාන අභියෝගයටමයි. ඇත්තෙන්ම මේ ආගමික අන්තවාදයන් නිසා ලෙඩ සුව වීම කෙසේ වෙතත් කෙලවරක් නොපෙනෙන කලකෝලාහාල වලට මුලපුරනවා. මොකද මේ සියවසේ ආගම යොදාගන්නේ ම බලය තහවුරු කරගැනීමේ අතකොලුවක් විදියටයි. ඒවගේ දුර්මත අභියෝගයට ලක් කරන්න සුදුසුම අවස්ථාව මේක. ඒ වගේම අවමංගල්‍යය උත්සව වලදී දකින්න තිබ්බ ධනවත්කම්, බලවත්කම්, ආගමික චාරිත්‍ර පවා නොතකමින් භේදයකින් තොරව පොලිතින් උරයකින් අවසන් ගමන් යාමට ලක්ෂ තුන හමාරකට කිට්ටුවන ලෝකවාසීන්ට සිදු වුණා (නමුත් මේ සඳහා අභියෝග කරන අවමංගල උත්සවයක් පසුගියදා දක්නට ලැබිණි). බලවත් ම රාජ්‍යයක් වූ ඇමරිකාව යුද්ධය වෙනුවෙන් විශාල මුදලක් වැය කරමින්, ලෝක බලවතා ලෙස පැවැත්ම තහවුරු කළත්, යුද්ධයෙන් පැරදවීමට නොහැකි මෙම වසංගතය ඉදිරියේ ඔවුන් අන්ත පරාජිතයෙකි. මහාචාර්ය යුවාල් හරාරි කියන්නේ වෛරසය සඳහා හොඳම පිලියම වෙන්නේ තනිව සිටීම නොව සහයෝගීතාව සහ නිවැරදි තොරතුරු සංසරණය කිරීමයි යනුවෙනි.
ධනවාදී ලෝකයක ජීවත්වන අපි සැබෑ අවශ්‍යතා වෙනුවට වෙළෙඳාමේ ගොදුරු බවට නිරන්තරයෙන් පත් වීම කෙටිකාලීනව ඇනහිටලා. සබන් වෙළෙඳාමට සියයට සියයක්ම විශබීජ නසනවා කියූ වෙළෙන්දන් තම නිශ්පාදන අලෙවි කරගන්න අලුත් බොරු නිර්මාණය කරන්න වෙලා. කාර්යය බහුල ජීවිතයේ අපි කරපු හැමදේම කළේ පුරුද්දට. අපට එවා ප්‍රශ්න කරන්න්න වෙලාවක් ලැබුනේ නෑ. නමුත් අපි දැන් ජීවත් වෙන්නෙ ඇත්තටම ජීවත් වීමට අවශ්‍ය මූලික අවශ්‍යතා මොනවාදැයි නිරාවරණය වෙමින් තිබෙන කාලවකවානුවකයි.
චාමනී දර්ශිකා

Comments
Post a Comment