ඔබ කවුද?
“ලග්ගල පුරුෂයෝ ඔවුන්ගේ ගැහැනුන්ට සහජ දුර්වලතා කිහිපයක් ඇතැයි සිතති. මෝහනය - ගැහැනු පහසුවෙන් ලිංගිකව පෙඹෙන, එමඟින් පුරුෂයන් කාමාශාවෙන් අනාචාරයට බඳවා පවුලේ සමෝදානයට එල්ලවන තර්ජනයකි. අවිශ්වාසය - කිසියම් ගැහැනියක් බිරිඳ වේවා, මව වේවා විශ්වාස කළ නොහැකිය. ගැහැනු ජරා මෙන්ම අපවිත්‍ර ද වෙති. ” - ගණනාථ ඔබේසේකර
ලාංකිකයන් තවමත් ගැහැනිය යන්න අර්තකතනය කරන්නේ මෙකී සංදර්භය තුළින් ද?
පසුගියදා ඇමති සනත් නිශාන්ත සහ ගම්පහ දිසා වනජීවී නිලධාරිනී දේවානී ජයතිලක අතර සිදු වූ සංවාදය හේතුවෙන් ලංකික දේශපාලනය සම්බන්ධයෙන් විශාල කතා බහක් ඇති විය. ඒ බොහෝමයක් දෙනා මෙකී සිදුවීම අර්තකතනය කළ ආකාරය තුළින් නිරාවරණය වූයේ රාජ්‍ය බලය හිමි බලවතුන් විවේචනයට එහා ගිය කාන්තාවගේ අනන්‍යතාව ප්‍රශ්න කිරීමක් ලෙසයි. එනම් සමාජ මාධ්‍ය රැසක මෙකී සිදුවීම ප්‍රචාරය වූයේ සහ අගය කරනු ලැබූයේ මෙය පහළ රාජ්‍ය නිලධාරියෙකු විසින් ඉහළ නිලධාරියෙකුට සිදුකළ අභියෝගයක් හෝ මනුෂ්‍යයෙක් මනුෂ්‍යයෙක් වෙත කරන ලද අභියෝගයකට වඩා කාන්තාවක් විසින් පිරිමියෙකුට ප්‍රසිද්ධියේ අභියෝග කළ වීර ක්‍රියාවක් ලෙසයි. ඔබටත් මටත් එදිනෙදා ජීවිතයේ දී මගහැරයා නොහැකි සමාජ මාධ්‍යවල රැදුණු බොහෝ ප්‍රකාශ වලින් මෙකී තත්වය වඩාත් හොඳින් ප්‍රකට වුණි. ලංකාවේ ආගමික නායකයන් පවා සේවය කරන්නේ කාන්තාවට පිරිමියාට සාපේක්ෂ ව ද්විතීයික ස්ථානයක් උරුම වේ යන දෘෂ්ටිවාදය නඩත්තු කිරීමට නිසා මෙකී මාතෘකාව සාකච්ඡා කිරීම පොදු මානව යහපැවැත්මේ අනිවාර්යය අවශ්‍යතාවයකි.
වන සංරක්ෂණ නිලධාරිනිය අගය කරමින් මුහුණු පොතෙහි තැබූ සටහනකට ලැබුනු පිළිතුරු මෙසේය.
1- “කාන්තාවකට ද පිරිමියෙක් විය හැකි බව මෙයින් පෙනෙනවා. මන්ද අපමන පිරිමි ගොඩක් සිටිද්දී ඇය ගත් උත්සාහය නිසා”
2- “මෙය සංශෝධනය කළ නම් ලස්සනයි ගැහැනු ගොඩක් මැද ශක්තිමත් පිරිමියෙක්”
මෙවැනි අවස්ථාවක මට සිහිවන්නේ සිමොන් දී බෝවා ස්ත්‍රීය කෙරේ උපන්න දෘෂ්ටිවාදාත්මක වියවුල සමාජය තුළ ම විසදීම උදෙසා මුලපිරූ ආකාරයයි. ඇය පවසන්නේ “ඔහුයි ආත්මය, ඔහුයි පරමත්වය, ඇයයි අනෙකා“ මෙහිදී පිරිමින් සතුව ජන්මයෙන්ලත් ගැහැනුන්ට හිමි නොවන අභිමානවත් පිරිමි කමක් පිළිබඳව සමාජය නිතර දෙවේලේ කතා බහ කරන අතර ම ගැනැනිය උපතින් ම ගෙන එන්නේ බියගුලු ස්වභාවයයි. පිරිමින් තුළින් කිනම් අවස්ථාවක හෝ පසුගාමී ස්වරූපයක් දිස්වුව හොත් ගැහැනු කම ප්‍රකට කිරීමකි. එනම් මා දකිනා ආකාරයට පිරිමියාට නිදහසේ ජීවත් විය නොහැකි ලෙස සමාජය ඔහුගෙන් සෑම විටම ක්‍රියාකාරී මැදිහත් කරුවෙකු බලාපොරොත්තු වන අතර ම කාන්තාවට ද සිදු වනුයේ සමාජය ඉදිරියේ ක්‍රියාකාරී විය හැකි අවස්තාවලදී පවා පියවරක් පසුපසට තැබීමටයි. මේවා තුළින් දෙපාර්ශ්වයම පීඩාවට පත්වන අතර මෙකී නියෝජනයන් සිදු නොකරන අවස්තාවල දී ඉහත කී ආකාරයට ඔවුන් සුවිශේෂී පුද්ගලයන් ලෙස සමාජයේ ඉදිරිපිටට ගෙනැවිත් නිරීක්ෂණය කරයි. මෙවන් අවස්තාවල මෙම දෙපාර්ශවයට ම තම පැවැත්ම සමාජය තුළ තහවුරු කිරීමට වන්නේ තම යතාර්තය පරයා යන ව්‍යාජ රංගනයක් ලෙසයි. ඉදිරිගාමී මෙන්ම පසුගාමී වීම මානව ලක්ෂනයකි. එය මානවයා තුළ ගැහැනු පිරිමි බේදයකින් තොරව දැකිය හැක.
දාර්ශනික ප්‍රශ්නයක් ලෙස ප්‍රථම වරට “ගැහැනියක් යනු කුමක්ද” යනුවෙන් ප්‍රශ්න කරන ප්‍රංශ ජාතික සිමෙන්ද බෝවා මෙය අපට පර්යේෂණාත්මකව පිළිතුරු සෙවීමට වන ගැටලුවක් බව පෙන්වාදෙයි. 1945 සිමෙන්ද බෝවා විසින් රචිත “The blood of other” කෘතියෙන් කියා සිටින පහත සඳහන් මතය එදා විසූ රැඩිකල් කොටස් අතර පවා මහත් ආන්දෝලනයක් ඇතිකර තිබේ. ඇය පවසන ආකාරයට, ගැහැනියක් උපදින්නේ නැත. සිදුවන්නේ, ඉපදුන මනුෂ්‍ය ජීවියෙකු ගැහැණියක බවට පත්වීම පමණි. ” මෙම සත්ත්වයා නිර්මාණය කෙරෙන්නේ සමස්ත ශිෂ්ටාචාරය විසින් මිස, කිසියම් ජීවවිද්‍යාත්මක, මනෝවිද්‍යාත්මක හෝ ආර්ථිකමය ඉරණමකින් නොවේ” එබැවින් මා ස්ත්‍රී පාර්ශවය ද පොදු මානව කුලකයේ කොටසක් ලෙස සැලකීමට මෙන්ම ක්‍රියා කිරීමට මෙකී සිදුවීම හරහා සියලුදෙනාට ආරාධනා කරන අතර ම මෙය ගැහැනියක් හෝ පිරිමියෙකු නියෝජනයට වඩා මනුෂ්‍යයත්වයේ පෙනී සිටීමක් ලෙස අගය කරමි.
චාමනී දර්ශිකා
(2020 මාර්තු Forward E-paper පළවිණි)
