ආදරනීය සියැටෙල්


https://www.wbur.org/onpoint/2013/07/04/photographing-native-americans
Image: https://www.wbur.org

'අනාගතයේ සිදු වන්නේ කුමක්ද..එය අපට හොඳින් දැකබලා ගැනීමට හැකිවනු ඇත'

මිනිසා සොබාදහම අත්තනෝමතික ලෙස තමාගේ පාලනයට යටත් කරගැනීමට දරණ උත්සාහය නූතන ශිෂ්ටාචාරයේ අකාරුණිකත්වය මනාවට ප‍්‍රකට කරයි. සොබාදහම නූතන කාර්මික ශිෂ්ටාචාරයේ සියවස් හතරක දෛනික  පහරකෑමට ලක්වුණි. එහිදී සිදු වු පාරිසරික දූෂණය සතුන් වද වී යාමට, ජල සම්පත් සිදී යාමට මෙන්ම ගෝලීය උණුසුම වැඩිවීම ආදී සියලූ ආකාරයේ විනාශයන් සඳහා හේතු විය. නමුත් දැන් උදාවී ඇති තත්වය මෙතෙක් සිදු වූ ක‍්‍රියාකාරීත්වයේ ප‍්‍රතිපක්ෂයයි. එනම් නූතන තාක්ෂණයට අභියෝග කිරීමට ඇසට නොපෙනෙන කොවිඩ් 19 වෛරසයට හැකිවී තිබීමයි. අප මේ සදහා මුහුණ දෙන්නේ කෙසේද? එසේ ම අනාගතයේ දී කටයුතු කළ යුත්තේ කෙසේද? මා ඒ සඳහා ප‍්‍රවේශයක් ලබා ගැනීමට සොබාදහම අපේ කොටසක් ලෙස සැලකීම වෙනුවට අප ද එහි ම අඩංගුවක් ලෙස තේරුම් ගැනීමට යෝජනා කරමි.
පරිසරය සහ මානවයා පිළිබදව සිදුකෙරෙන සාකච්ඡාවේ දී සිහියට නැඟන්නේ සියැටෙල් නම් ආදරනීය මිනිසා ය. සොබාදහම වෙනුවෙන් ආදරය, කරුණාව නිර්ලෝභීව මුදාහල රතු ඉන්දියානු නායක සියැටෙල් විසින් ඇමරිකානු ජනාධිපතිවරයා වෙත යවන ලද ලිපිය පරිසරය පිළිබඳව ඉදිරිපත් වී ඇති  සාරගර්භ වූ ලේඛනයක් ලෙස සැලකිය හැක. මිනිසාත් පරිසරයත් අතර ඇති සමීප සම්බන්ධතාවය ගැන ගැඹුරින් විවරණය කරන මෙම ලියවිල්ල එක්සත් ජාතීන්ගේ පරිසර සංවිධානය (UNEP) මගින් ප‍්‍රකාශයට පත් කෙරිණ. ඩුවාමිෂ් ගෝත‍්‍රිකයෙකු වන ඔහු වර්ෂ 1780 දී වොෂින්ටනයේ බ්ලේක් දූපතේ උපත ලබා ඇත. ක‍්‍රි. ව. 1854 දී සියැටෙල් විසින් ඇමරිකානු ජනාධිපතිවරයාට යොමු කරන ලද ලිපියෙන් තෝරාගත් කොටස් කිහිපයක් (අන්තර්ජාලයෙන් ලබාගත්, සිංහලයට පරිවර්තිත) මෙසේය.  
"සුවිසල් නුවරක් වූ වොෂින්ටන් හි සුදු ජාතික නායකතුමා අපගේ ඉඩම් මිලදී ගැනීමට අපේක්ෂා කරන බව ප්‍රකාශ කර සිටී. අප ඉඩම් විකිණීමෙන් වැළකී සිටියහොත් සුදු මිනිසුන්  පැමිණ අවි බලයෙන් ඉඩම් පැහැර ගන්නා බව නිසැකය. එහෙත් නිල් අහසත් පොළවේ ඇති උණුසුමත් විකිණීමට හෝ මිලදී ගැනීමට හැකිද..? එය මට නොවැටහේ. මේ අදහස අප හට නම් අරුමයකි. සුළගේ ඇති පවිත්‍ර බව නැවුම් බව ජලයේ ඇති ප්‍රභාවත්‘ බව අප සන්තක නොවේ. එසේ නම් ඔබ ඒවා මිලදී ගන්නේ කෙසේද..?
සුදු ජාතිකයෝ අහසේ තරු මත පා තබන්නට යන විට ඔවුන්ගේ උපන් බිම අමතක කර දමති. එහෙත් අපගේ මළගිය ඇත්තෝ කිසිවිට මේ මහ පොළොව අමතක නොකරති. ඒ රතු ඉන්දියානුවන්ගේ සදාදර මතෘත්වය මහ පොළොව වන බැවිනි. අප පෘථිවියේ කොටසකි. පෘථිවිය  අපේ කොටසකි. සුවඳැති මල් අපගේ  සොයුරියෝ වෙති. මුව පොව්වෝ, රාජාලියෝ හා අශ්වයෝත් අපගේ සොහොයුරෝ වෙති. ගිරි මුදුන්වල සිට තණ බිම් වනාන්තර අතරින් ගලා බස්නා දිය දහරා ද අශ්වයාගේ සහ මිනිස් සිරුරේ උණුසුම ද යන මේ හැම දේ එකම පවුලක සාමාජිකයන්ය.
ගංගා ඇළදොළ දිළිසෙමින් ගලා බස්නා ජලය හුදෙක් දිය දහරාවන්ම නොවේ. ඒ අපේ මුතුන් මිත්තන්ගේ රුධිරයයි. ජලයෙන් නැගෙන සිහින් හඬ මාගේ පිය පාර්ශවයේ මුතු මිත්තන්ගේ හඬය . මේ ගංගාවෝ අපගේ සොයුරෝය. ඔවුහු අපගේ පිපාසය සන්සිඳුවාලති. අපගේ දරුවන් පෝෂණය කරති. ගංගාවන් අපගේ මෙන්ම ඔබගේ ද සහෝදරයන් බව සිහිතබාගනු මැනවි. ඒ බව ඔබගේ දරුවන්ට ද කියා දෙනු මැනවි.
කවදා හෝ සුදු ජාතිකයන් ද මේ මහපොළොවේ සැඟව යනු ඇත. ඇතැම් විට එය අනෙක් ග්‍රෝත්‍රිකයින් සැඟවයාමට කලින් සිදුවනු ඇත. ඔබගේ සයනය ඔබ දිගින් දිගටම කෙලෙසමින් යන්න. යම් දිනක ඔබ එම ප්‍රවාහයේම ගිලෙනු ඇත. එහිම ගිලී මියයනු ඇත.
අපි එක දෙයක් දනිමු. එය නම් අපගේ දෙවියන් වහන්සේ ද ඔබගේ දෙවියන් වහන්සේ ද එකම දෙවියන් බවයි. ඔහුට මේ භූමිය ඉතා වටින්නේය. සුදු මිනිසාට යැයි ඉරණමේ වෙනසක් නැත. කුමක්  කීවත් කළත් අපි සොහොයුරෝ වෙමු. අනාගතයේ සිදු වන්නේ කුමක්ද..? එය අපට හොඳින් දැකබලා ගැනීමට හැකිවනු ඇත". 
එසේනම් මේ එළැඹ තිබෙන්නේ ස්වයං නිරෝධායනයට පමණක් නොව ඔබටත් මටත් අප පිලිබඳව ම ස්වයං විවේචනයක් සිදු කරගැනීමට කාලවකවානුවකි. ගෝලීය වශයෙන් ව්‍යාප්ත මෙකී අර්බුදය පිළිබඳව ජයදේව උයන්ගොඩ මහතා පවසන්නේ 'මනුෂ්‍ය වර්ගයා වර්තමාන අර්බුදය දැකිය යුත්තේ ශිෂ්ටාචාරමය අර්බුදයක් (Civilizational Crists) ලෙසයි' යනුවෙනි. තවදුරටත් අදහස් දක්වන ඔහු පවසන්නේ 18 වන සියවසේ පමණ දළ වශයෙන් ආරම්භ වී විශ්ව ව්‍යාප්ත වූ නූතන ශිිෂ්ටාචාරය ගොඩ නගා ඇති කුළුණු තවදුරටත් මනුෂ්‍ය වර්ගයා සදහා යෝග්‍ය ද යන්නත්, එම කුලුනු දැන් දෙදරා තිබෙන බව මෙම අර්බුදය අපට කියාපාන බවයිඑමෙන් ම නව ශිෂ්ටාචාරමය කුළුණු ගොඩනැඟීමට මනුෂ්‍ය වර්ගයාට සිදුවී තිබෙන බවත් ඒවා පැරණි කුලූණු වල නිෂේධනය විමේ අවශ්‍යතාව ඔහු අවධාරණය කරයි.

චාමනී දර්ශිකා 
(2020 මැයි Forward E-paper පළවිණි)

Comments

Popular posts from this blog

කාලගෝලගේ දේහමය දේශපාලනය තේරුම් ගැනීම.

බයිලා ගහන දවසක්

“Difficulty” is a cultural script - ‘අභිවහනයක් ලෙස සලකා’ අධ්‍යනය කිරීම