ගෝලීය වසංගතය අභිමුවයේ කලාකරුවා
![]() | |
|
එසේනම් මේ ආකාරයට පුද්ගල අනන්‍යතාවයන් තහවුරු කරමින් රාජ්‍ය විසින් ගෙන යනු ලබන ක්‍රියාකාරීත්වය(අවේක්ෂණය) තුළ ඉදිරිපෙළට යාමට නියමිත චූදිතයා වන කලාකරුවාට මුහුණපෑමට සිදුවන අභියෝගයේ තරම පසක් නොවේද?
ජෙරමි බෙන්තම් විසින් නිර්මාණය කරන ලද panopticon නැමති ගොඩනැගීම සිරකරුවන් රැඳවීමේ අපේක්ෂාවෙන් ඉදිකරන ලද්දකි. මෙම කවාකාර ගොඩනැගිල්ලේ කේන්ද්‍රය කුළුණකින් සමන්විතයි. එහි වන නිලධාරියෙකු විසින් පරිධියෙහි කුටිවල සිටින සිරකරුවන් නිරීක්ෂණය කරයි. කුටි පුළුල් ජනෙල් වලින් සමන්විත වේ. මෙහිදී කුටි වෙතට එල්ල වන ආලෝකය තවදුරටත් නිරන්තර නිරීක්ෂකයෙකු මෙන් ක්‍රියාකරයි. එහිදී සෙවනැල්ල තුළින් පවා සිරකරුවන්ගේ ක්‍රියාකලාපය කුළුණ වෙත දෘශ්‍යමාන වේ. මෙය පුංචි නාට්‍යගාරයක් වැනිය. සෑම පුද්ගලයෙකුට ම තමාගේම කුටියක් හිමි වේ. එසේම සිරකරුවන්ට දෙපස ඇති බිත්ති දෙක හේතුවෙන් අනෙක් සිරකරුවන් සමග සම්බන්ධ වීම අහුරා ඇත. සිරකරුවන්ට කිසිවක් නොපෙනේ. එසේම ඔහු තොරතුරු වල වස්තුව බවට හා සන්නිවේදනයේ විෂයක් බවට පත්වේ. මෙසේ අවේක්ෂණයට(monitoring) භාජනය වීම අප අද මුහුණ දෙන සාමාජීය අනිවාර්යතාවක් බවට පත්ව තිබෙනු මෙහි ව්‍යුහය අධ්‍යයනය කිරීමෙන් පසක් වේ. මධ්‍යස්ථ රාජ්‍ය බලයේ ගලායාම අභිමුවයේ පුරවැසියෙකු ලෙස අප මුහුණ දෙන අභියෝගය මහාචාර්ය යුවාල් හරාරිගේ අදහස් තුළින් විමසමු.
"කොරෝනා වසංගත මර්ධනයට චීන රජය ජනතාවගේ චර්යා නිරීක්ෂණය කිරීමටත් සෞඛ්‍ය දත්ත සහ තොරතුරු රැස් කිරීමටත් ජංගම දුරකථන භාවිතා කරන ලදි. කොරෝනා වසංගතය එක්තරා ආකාරයකට මහජන ප්රවික්ෂණය(surveillance) පිළිබඳ හැරවුම් ලක්ෂයක් බට පත් වේ. මෙකී මහජන ප්රවික්ෂණය මෙතෙක් පැවති බාහිර ශරීරය ප්රවික්ෂණය කරනවාට අමතරව එය මිනිස් ශරීරයේ අභ්‍යන්තරයට ද කිදා බැසීමට සමත්ව තිබෙනවා. පෙර පැවති තත්ත්වයේ දී ඔබ යන්නේ කොහේ ද, ඔබ කරන්නේ කුමක් ද යන්න රාජ්‍ය යාන්ත‍්‍රණය නිරීක්ෂණය කරන ලදි. නමුත් දැන් ඔවුන් ඔබගේ ශරීර සෞඛ්‍යය, ශරීර උෂ්ණත්වය, ඔබගේ රුධිර පීඩනයේ තොරතුරු ගබඩා කරගන්නට සමත්ව තිබෙනවා. මෙවැනි ජිව දත්ත තොරතුරු වලින් රාජ්‍යයකට ඔබ පිළිබඳව විශ්වාස කළ නොහැකි මට්ටමේ තොරතුරු සමුදායක් ප්‍රකාශ කිරීමට හැකියාව ලැබෙනවා.
මේ තත්ත්වය පිළිබඳ රජය කියනු ඇත්තේ කොවිඞ් 19 මර්ධනය කිරීමට ගත් කි‍්‍රයාමාර්ග කිසිලෙසකින්වත් එම පීඩන කොන්දේසිවලට බල නොපාන බවයි. නමුත් ගැටලූව වන්නේ මෙවැනි තාවකාලිකව ගනු ලබන බොහොමයක් පීඩන යාන්ත‍්‍රණයන් නැවත නැවතත් කරලියට පැමිණීමේ තර්ජනයක් පැවතීමයි.
මිනිසාට තම පුද්ගලිකත්වය මෙන්ම සෞඛ්‍ය ද ඉතා වැදගත් කරුණු වේ. ඒ නිසා අපගේ සෞඛ්‍ය රැක ගැනීමේ කි‍්‍රයාමාර්ග වලට අමතරව ඒකාධිපති රජයන් විසින් යෝජනා කරනන ජිව තාක්ෂණ ප්රවික්ෂණයන්ගෙන් තොරව අපට කොරෝනා මර්ධනය කිරීමට හැකියාවක් තිබේ. එය කළ හැක්කේ මහජනයා අධ්‍යාපනයෙන් සන්නද්ධ කිරීමයි. අප මතක තබා ගත යුත්තේ මිනිසා විද්‍යාවෙන් සන්නද්ධ වූ විට, මහජන ආයතන සත්‍ය හෙළි කරන බවට විශ්වාසය ගොඩ නැගුණු විට, මිනිසා නිවැරදි දේ තෝරාගැනීමට පෙළඹෙන බවයි".
එසේනම් මෙවන් බල ව්‍යුහයකට මුහුණදීමට කලාකරුවාට හැක්කේ කෙසේද? කලාකරුවා පිලිබඳ අදහස් දක්වන ජගත් වීරසිංහ මෙසේ දක්වයි, "කිසියම් සමාජයක මිනිසුන්ගේ චර්යාවන්ට බලපාන තත්ත්වයක් තමයි ද්‍රව්‍ය සංස්කෘතිය (material culture). උදාහරණයක් ලෙස අප ගොඩනැඟිල්ලක් තුළ ඒ ගොඩනැගිල්ලට අනුව හැසිරෙනවා. ද්‍රව්‍ය කියන්නේ සමාජය පිළිබඳව ප්‍රක්ෂේපනයක් නොවේ. සමාජ සැකැස්ම ද්‍රව්‍ය මත සිදුවන්නක්. මේ ද්‍රව්‍යමය තත්ත්වය තමයි සංස්කෘතිය බවට පත් වන්නේ. කලාකරුවා කියන චරිතය සංයුක්ත වන්නා වු මනෝභාවයන්, අපේක්ෂාවන්, කාංසාවන්, අරගල ස්වරූපණය වී ඇත්තේ ඔහු හෝ ඇය ජීවත්වන කාලයේ දේශපාලන සහ සංස්කෘතික පසුබිමට සාපේක්ෂව යි. (උදාහරණයක් ලෙස සීගිරි චිත්‍ර කියැවීමේදී පස්වන සියවසේ ඉතිහාසය පිළිබඳව, ආසියාතික කලාවේ දෘශ්‍ය සංකේත පිළිබඳව, කාශ්‍යප රජුගේ දේශපාලනය පිළිබඳව හැදෑරීමට සිදුවෙනවා). කලාකෘති නිපදවීම යනු අරගලයක්. එය ඉතා සූක්ෂම ලෙස කලාකරුවා කියන චරිතය ජීවත්වන සමාජ සංස්කෘතික දේශපාලනික මොහොත හා කරන කේවල් කිරීමයි" .
කලා කරුවාගේ පෙනී සිටීම එයනම්, ඇයට මෙවන් නිරීක්ෂණයට නිරන්තරයෙන් ලක් වීම තුළ නිර්මාණකරණයෙහි නියැලීම විශාල අභියෝගයකි. සන්නිවේදන මාධ්‍ය ගරා වැටෙන ධනේශ්වර ක්‍රමය කුණු කන්දල් වලින් වැසී ඇහිරී තිබේ. කලාකරුවාට තේමාවන් තෝරා ගැනීමේ නිදහසත්, සකලවිධ සීමා බන්ධනයන්ගෙන් විනිර්මුක්තව ඒවා පරිහරණය, නිර්මාණ බිහි කිරීම වනාහි අයිතිවාසිකමක් ලෙස පැවතුණ ද, කලාකරුවෙකු ලෙස ජීවත්වීමටත්, කලා නිර්මාණ කරගෙන යාමටත් ඇති ස්වකීය අයිතිය නැති වී යාමේ තර්ජනයට මුහුණපාමින් සිටී.
එසේනම් මේ ආකාරයට පුද්ගල අනන්‍යතාවයන් තහවුරු කරමින් රාජ්‍ය විසින් ගෙන යනු ලබන ක්‍රියාකාරීත්වය(අවේක්ෂණය) තුළ ඉදිරිපෙළට යාමට නියමිත චූදිතයා වන කලාකරුවාට මුහුණපෑමට සිදුවන අභියෝගයේ තරම පසක් නොවේද?
උදාහරණයක් ලෙස,
හිට්ලර් නිදහස සඳහා කෘති නිර්මාණය කලා වූ සියලුම කලාකරුවන් ජර්මනියෙන් අතුගා දමාන ලදි. පසුව ඔවුන්ට භාර දී ඇති කටයුත්ත නම් ඉතාමත්ම අධම ගණයේ කලා සම්මුති වලට අනුකූලව හිට්ලර්ගේ ආධිපත්‍යයට ප්‍රශස්ති ගායනා කිරීමයි.
චාමනී දර්ශිකා

Comments
Post a Comment