සොල්දාදුව නුඹ කවුද?
![]() |
| Jagath Weerasinghe, Untitled, 2007. Acrylic on paper. Courtesy the artist |
""සොල්දාදුවෝ ඉතා අවිනිශ්චිත යථාර්ථයක් වෙත ගමන් කරති. ඊට එරෙහිව හෝ එකඟව මට වචනයකුදු ප්‍රකාශ කළ නොහැකිය. ඇත්තටම මගේ ආදරය ප්‍රකාශ කිරීමට ඉඩක් නැත" -සනත් කළුබදන -
යුද්ධය සහ පුරවැසිභාවය(සොල්දාදුවාගේ) පිළිබඳ ඛේදජනක ප්‍රහේලිකාවකට වියට්නාමයේ සේවය කළ සෙබළුන්ගේ ව්‍යාපාරය විසින් අවධානය යොමු කෙරිණි. එනම් තරුණ පිරිමින් යුද්ධයට බඳවා ගත්තේත්, යුද සේවයට යවනු ලැබුවේත් ""යුද්ධය යනු පුරවැසියෙකුට තම මවුබිම වෙනුවෙන් කළ හැකි උපරිම පරිත්‍යාග කිරීමේ අවස්ථාව"" ලෙස වර්ණනා කරන කතිකාවක් තුළයි. එහෙත් යුද්ධයට ගොස් ශාරීරික හා මානසික තුවාල ලබා ආපසු පැමිණි සෙබළුන්ට රාජ්‍යයත්, මහජනයාත් සැලකුවේ තමන් වෙත එල්ල වන අනවශ්‍ය බරක් ලෙසයි.
නමුත් සෙබළුන් ද පුරවැසියයෝ ය. ඔවුන්ට පුරවැසි අයිතිවාසිකම් ලැබිය යුතුය. පොදු පුරවැසිභාවයට ලැබෙන අයිතිවාසිකම් වලින් පමණක් ඔවුන්ගේ සුවිශේෂ ගැටලු වලට ආමන්ත්‍රණය කළ හැකිද? පුරවැසිභාවය පිළිබඳ ශාස්ත්‍රීය හා දේශපාලන විවාදය තුළ මේ ප්‍රශ්න මතුවී තිබේ. ඒ ගැන කුඩා හෝ අවබෝධයක් ලබා ගැනීමට උත්සාහ කිරීම වටී. මන්ද පසුගියදා දඹුල්ල ප්‍රදේශයේ බස් නැවතුම් පළකදී ආරක්ෂක අංශය හෝ මිනිස්සුන්ගේ සැලකිල්ලට ලක්නොවූ, මනුෂ්‍යත්වයේ මූලික කොන්දේසි පවා කඩ වීමෙන් මියගිය හමුදා නිලධාරියා පිළිබඳ සිද්ධිය ද අත්දකින්නට සිදු වීමයි. එසේම එය අතිශය සංවේදී අවස්ථාවක් ලෙස අපගේ හදවත් වල නැවතීමෙන් පමණක් නොනවතින නිසාය.
වසංගත සමයේ සොල්දාදුවා පිළිබඳව අර්ථකථන සපයන ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය විකාශය කරන ගීත අසමින් සිටින අප තුළ ""යුද්ධය යනු පුරවැසියෙකුට තම මවුබිම වෙනුවෙන් කළ හැකි උපරිම පරිත්‍යාග කිරීමේ අවස්ථාව"" යන මුලාව ම වෙනත් ආකාරයට කියා සිටියි. පසුගිය දිනවල තාප්ප, පාලම් මත සිත්තම් කිරීමේදී පවා ඔබ අප විශ්වාස කරන එම පරිත්‍යාගය තුළින් බිහිවන වීරයා නඩත්තු කිරීමට සෙබළුන් කෙදින වන තුරු කැපවිය යුතුද? සත්‍ය වශයෙන් ම මෙම විශාල රැවටිල්ලේ ගොදුරු බවට සොල්දාදුවන් නැවත නැවත ගොදුර නොවේද?
සත්තකින්ම අප සොල්දාදුවා අර්තකතනය කළ යුත්තේ කෙසේද? දේශපාලනිකව ඔහුට හිමි වියයුතු එකී අයිතිවාසිකම් අතර ම කලාව තුළින් සෙබලා අර්ථකථනය කර ඇති ආකාරය විමසා බලතොත්, 90 ප‍්‍රවණතාවත් සමඟය යුද්ධය සහ ප‍්‍රචණ්ඩත්වය දිගින් දිගටම පවත්වාගෙන යන රාජ්‍ය මතවාදයට එරෙහි වීමේ, ප‍්‍රතිචාර දැක්වීමේ, විරුද්ධ වීමේ ක‍්‍රමයක් ලෙස සොල්දාදුවා නැමති තේමාව කලාකරුවන් යොදාගත් බවට සඳහන් කළ හැකි ය. දශක තුනකට අධික කාලයක් පැවති යුද්ධයේ බිහිසුණු බව නිසාම එම කෘති සොල්දාදුවා ගැන පුද්ගලයෙක් ලෙස කතා කිරීම වෙනුවට මූලික හරය වශයෙන් ගත් කළ යුද්ධය හා ප‍්‍රචණ්ඩත්වය ගැන පුළුල් අරුතකින් සාකච්ඡා කර තිබේ. ඊට අමතරව මෙම තේමාමය ක්ෂේත‍්‍රයේ ක‍්‍රියාත්මක වූ වඩා සංවේදී බවකින් යුතු ප‍්‍රවේශයක් වන්නේ සොල්දාදුවා ද පුද්ගලයෙකු ලෙස දකින්නට උත්සහ කිරීමයි. මිතුරෙකු, ආදරවන්තයෙකු, අපගේ ම පුරවැසියකු ලෙසත් දැකීමයි. සිටු වනයේ මගේ මිතුරා (My friend in the corner stand (2003) ) සහ ලන්තෑරුම: සොල්දාදුවන් එති සහ සොල්දාදුවන් යති (The Lantern: Soldies come and soldies go (2006 )) යන කෘති සොල්දාදුවා දෙස ඉතා කුළුපග දෘෂ්ටි කෝණයකින් බැලූ සනත් කළුබදනගේ කෘතීන් වේ. එමෙන්ම ජගත් වීරසිංහගේ ‘සොල්දාදුව නුඹ කවුද? (Who are you Soldier?) නැමැති පින්තාරු මෙකී තේමාව නියෝජනය සදහා කදිම උදාහරණ ලෙස පෙන්වා දිය හැක.
චාමනී දර්ශිකා

Comments
Post a Comment