තමාට තමාවම දෘෂ්‍යමාන කරවන බ්‍රෙෂ්ටියානු නාට්‍ය කලාව.

Image Source:Internet, RobertoOstiPanopticon
"ඇබිත්ත ඇබිත්ත කාපං හරියට ඉවරනවට ලෝබයි වගේ. දුප්පත් මිනිස්සු කන්නේ එහෙමයි".         

මිෂෙල් ෆූකෝ විසින් Discipline and Punish (The birth of the Prison )නම් ග්‍රන්ථය රචනා කිරීමෙන් නූතනත්වය ආරම්භයේ දී ඉන්පෙර පැවති දඬුවම් කිරීමේ (Punish)සිට විනයගත කිරීම (Discipline) දක්වා  සමාජය විකාශය වූ ආකාරය පෙන්වා දෙයි. ග්‍රන්ථයේ Panopticism  නම් අනු කොටසේ ජෙරමි බෙන්තම් විසින් ආකෘතිගත කරන ලද Panoptic නම් ගොඩනැගිල්ල පිලිබඳ ව විග්‍රහ කරයි. මෙම ගොඩනැගිල්ල කේන්ද්‍රයේ නිරීක්ෂණ කුළුණකික්(අදුරු බැවින් සිරකරුවන්ට කිසිවක් නොපෙනේ) හා පරිධිය කවාකාර ගොඩනැගිල්ලකින් සමන්විතයි. කවාකාර කොටසේ සිරකරුවන් (උන්මත්තකයින්, රෝගීන්, වරදකරුවන්, කම්කරුවන්, ශිෂ්‍යයන්...) රැඳවීමටත්, විශාල පිරිසක් කේන්ද්‍රයේ වූ තනි නිලධාරියෙකු විසින් නිරන්තර නිරීක්ෂණයට ද භාජනය වේ. මෙහිදී කුටිය තුළ ඇති පුළුල් කවුළු වෙත පතිත වන ආලෝකධාරා සිරකරුවාගේ කුමන ආකාරයේ හැසිරීමකට හෝ නිරීක්ෂකයාගෙන් මිදීමට ඉඩ නොදේ( බිත්ති මත පතිත සෙවනැල්ල නිරීක්ෂණය මගින්). මෙහිදී සිරකරුවාට කිසිවක් නොපෙනෙන අතර ඔහු නිරන්තරවම අවේක්ෂණයට (Surveillance) ලක්වේ. මෙම බලය ස්වයංක්‍රීයව හා අඛණ්ඩව ක්‍රියාත්මක වේ. මෙහිදී බලය බෙදා හැරීම ප්‍රභන්දිත සබඳතාවක් තුළින් සැබෑ යටපත් කිරීමක් යාන්ත්‍රිකව නිපදවයි.


ෆූකෝ විසින් මෙකී ව්‍යුහය  හරහා මිනිසාගේ "ශරීරය (Body)" සමාජ ගත ධූරාවලීන් මගින් අවේක්ෂණය, සංවිධානය සහ පාලනය කිරීම ගැඹුරු ලෙස  විස්තර කරයි.  මෙම යාන්ත්‍රණය එකරැස්වීම වලක්වා තනි පුද්ගල අනන්‍යතා තහවුරු කිරමින් සිටී. තමාට කිසිවක් නොපෙනෙන, නමුත් තමාව දෘෂ්‍යමාන වන සිරකරු තොරතුරු වල වස්තුව බවට පත් කරගනී. එසේම ඔහු සන්නිවේදනයේ විශයක් බවට ද පත්වේ. මෙම දයලෙක්තිකය (Action and Effect) සදාකාලිකයි. බලය ක්‍රියාකරන්නේ කවුද? එය සෑම විටම ක්‍රියාත්මක වන්නේද? යන්න අදාළ නොවේ. එහිදී මෙම බලය දරාගන සිටින්නන් වන්නේ සිරකරුවන්ම ය. ඒ ඔවුන්ගේ "ශරීරය" මතයි. එබැවින් මෙහිදී ශරීරය මූලික වේ.

රූපණයේ යෙදෙන නිළියගේ ද(නළුනිළි දෙපාර්ශවය ම නියෝජනයට නිළිය) මාධ්‍ය වන්නේ "ශරීරයයි". එසේනම් ඉහත සඳහන් කළ බල ව්‍යුහයට වඩාත් ප්‍රගතිශිලී ලෙස මුහුණදුන් බලපෑම්සහගත නූතනවාදී නාට්‍ය කරුවෙකු ලෙස බර්ටෝල්ට් හදුන්වාදිය  හැක. ඔහුගේ සුවිශේෂීත්වය වන්නේ බොහෝමයක් නූතනවාදී නාට්‍ය කරුවන්ගෙන් එනම් ස්ටැනිස්ලවුස්කි, මේයර්හෝල්ඞ්, ආටෝ වැනි නාට්‍යකරුවන් මෙන් ඓතිහාසික හා සාමාජීය පුරුදුවල පිළිබිඹුවක් ලෙස නළුවාගේ ශරීරය අර්තකතනය කිරීම වෙනුවට දයලෙක්තික රංගනයක් ගොඩනැඟීමයි. එහිදී නළුවාගේ සාමාජීය සම්බන්ධතා තුළ පවතින ද්වන්දාත්මක ගතිකයන් හෙළි කිරීම අරමුණ විය. ඔහු මේ සදහා Gestus (ගෙස්ටස්) නම් සංකල්පය තුළින් පුද්ගලයා සහ සමාජ ප්‍රපංච අතර ඇති ද්වන්දාත්මක සම්බන්ධතා හඳුනාගැනීමට යොජනා කෙරුණි. පුද්ගලයාගේ ශරීරය සහ එහි ඓතිහාසික සමාජ විකාශනය නිළියගේ ශරීරය මත උත්තරාරෝපණය වී ඇත්තේ කෙසේද යන්න ඔහුගේ අවධානය යොමු විය. ශරීරය සමාජ ස්තරීකරණයේ සහ ශ්‍රම දුරස්තීකරණයේ (Alienation of Labour) පිළිබිඹුවක් ලෙස ඔහු දුටුවේ ය. චරිතයක Gestus විසින් එකී චරිතයේ සමාජීය ස්ථරීකරණය පෙන්නුම් කෙරෙයි.  බ්‍රෙෂ්ට්ගේ එපික් රංගයේ නළුවාගේ Gestus ක්‍රියාත්මක ආකාරය පෙන්වාදීමට Philip Auslander හුණුවටයේ කතාව නාට්‍යයේ අවස්ථාවක් දක්වයි.

"ආ ඉඳා මෙන්න පාන් කෑල්ලක්. දැන් මේ පෙට්ටගම මේසයක් කියල හිතල පාන් කෑල්ල මේසෙ උඩ තියලා අත්දෙකෙන් වටකරගනින්. කවුරුහරි ඒක උදුරගන්න හදනවා වගේ ඇබිත්ත ඇබිත්ත කාපං. හරියට ඉවර වෙනවට ලෝබයි වගේ. දුප්පත් මිනිස්සු කන්නේ එහෙමයි".
      
මේ අවස්ථාවෙන් එක්තරා නිශ්චිත Gestus ව්‍යුහයක් බ්‍රෙෂ්ට් යෝජනා කරයි. වෝල්ටර් බෙන්ජමින්ට අනුව බ්‍රෙෂ්ට්ගේ එපික් රංගය අත්‍යන්තයෙන්ම Gestural ය. ඔහු මිනිස් ශරීරයේ ඝනීභවනය වී ඇති දෘෂ්ටිවාදාත්මක මෙවලම් සහ ඒවා සමාජ සන්තාව සමඟ කරන ගණුදෙනුව වේදිකාව මත හෙළි කෙරිණි (බ්‍රෙෂ්ට් සහ පසු-නාටකීය රංගය, පර්යේෂණ පත්‍රිකාව, සෞම්‍ය ලියනගේ).

එසේම ඔහුගේ ත්‍රී පෙනි ඔපෙරා නාට්‍ය සම්මත ඔපෙරාවකදී මෙන් වෘත්තීය ගායක ගායිකාවන්ගෙන් හා සංධ්වනි වාද්‍ය සංගීත කරුවන්ගෙන් සමන්විත වාද්‍ය වෘන්දයක් නොමැත. නළුනිලියෝ ඔවුන්ගේ ආධුනික ගායන විලාස භාවිතයට ගනිමින් රංගනය ඉදිරිපත් කරයි. බ්‍රෙෂ්ට අනුව නළුවෙකු ගායනයේදී ඔහුගේ කාර්යයේ පරිවර්තනයක් ඇති වේ. නළුවෙකු තම සාමාන්‍ය කතා විලාසය අතහැර ගායනා කිරීම ඇරැඹූ බව දැනෙන විට තරම් ඔහු අස්වාභාවික හැසිරීමක් ඇතිවන අවස්ථාවක් තවත් නොවේ. එහිදී නළුවෙකු ගායනා කළ යුතුවාක් මෙන් ම "මිනිසෙකු" නැගී ගායනයක් ඉදිරිපත් කරන බව පෙන්විය යුතුය.

මොහොතකට ⁣තත්කාලීන ගෝලීය අර්බුදය වෙත යොමු වුවහොත් පෙර පැවති තත්ත්වයේ දී අප යන්නේ කොහේ ද? අප කරන්නේ කුමක් ද? යන්න රාජ්‍ය යාන්ත‍්‍රණය නිරීක්ෂණය කරන ලදි. නමුත් දැන් ඔවුන් අපගේ ශරීර සෞඛ්‍යය, ශරීර උෂ්ණත්වය, අපගේ රුධිර පීඩනයේ තොරතුරු ගබඩා කරගන්නට සමත්ව තිබේ. මෙවැනි ජිව දත්ත තොරතුරු වලින් රාජ්‍යයකට අප පිළිබඳව විශ්වාස කළ නොහැකි මට්ටමේ තොරතුරු සමුදායක් ප්‍රකාශ කිරීමට හැකියාව ලැබෙයි (යුවාල් හරාරිගේ සම්මුඛ සාකච්ඡාවක් ඇසුරිනි). මෙවැනි තාවකාලිකව ගනු ලබන හා ගැනීමට නියමිත බොහොමයක් තොරතුරු නිසා මිනිසාට තමන් දෙස නිරන්තරයෙන් ඇසක් යොමු වී තිබීමේ  පීඩාවට පත් වේ. උදාහරණයක් ලෙස  Facebook සමාජ ජාලයේ තමා හුවමාරු කරන ඇතැම් posts හේතුවෙන් වාරණය වී සිටීමට ද සිදුවේ. බලය අත දරණ්නන් මේ වන විටත් ඔබේ අතිශය පෞද්ගලික සියල්ල  හදුනනවා නොඅනුමානය. 

මෙසේ නිරන්තරයෙන් දැකිය හැකි අවේක්ෂණයට (Surveillance) මුහුණදීම සඳහා  බ්‍රෙෂ්ටියානු නාට්‍ය කලාව සාධනීය ප්‍රවේශයක් වනු ඇත. මන්ද ඔහුගේ Gestus සංකල්පය තව  දුරටත් තහවුරු කරන්නේ මෙවන් තත්වයන්ට මුහුණදීමට සදහා ඔහුගේ නාට්‍ය කලාව තුළ වන විභවාත්මක හැකියාවයි. එසේනම් බ්‍රෙෂ්ට්ගේ ව්‍යාපෘතිය කිසිවක් නොපෙනෙමින්, සමාජගත ධූරාවලීන් ගෙන්  ශාරීරිකව පාලනයට හා අවේක්ෂණයට (Surveillance) ලක් වූ අප වේදිකාව මතට ගෙනැවිත් තමාට තමාවම දෘශ්‍යමාන වීමට අවකාශය සලස්වයි. එහිදී නිළියෙකු ලෙස වේදිකාවේ සිටින පුද්ගලයාට මෙන්ම දුරස්තීකරණ සංකල්පය(Alienation Effect) මත නාට්‍ය නරඹන්නා තුළද ඔහු විසින්   සවිඥානිකත්වය අවදි කරමින් තමාට තමාව දෘශ්‍යමානයක් බවට පත් කළේය. ඒ හේතුවෙන් නිළියගේ ශරීරය තව දුරටත් බල⁣ය දරමින් සිටින හා නතුවන උපකරණයක් නොව තමාට තමාව ම දෘශ්‍යමාන කරවන කැඩපතකි. බ්‍රෙෂ්ට්  නාට්‍යකරුවෙකු වීමෙන් නොනැවතී දේශපාලන ක්‍රියාධරයෙකු ලෙසද අප හඳුනාගන්නේ ඒ නිසාය.


Image Source: Photograph of Juliet Stevenson in The Caucasian Chalk Circle, 1997


චාමනී දර්ශිකා

Comments

Popular posts from this blog

කාලගෝලගේ දේහමය දේශපාලනය තේරුම් ගැනීම.

බයිලා ගහන දවසක්

“Difficulty” is a cultural script - ‘අභිවහනයක් ලෙස සලකා’ අධ්‍යනය කිරීම