‘සංචාරක කෝකිලාව’ – කියවීමක්



Departure – (Max Beckmann)


වෛෂයික හා සංස්කෘතිකමය වශයෙන් පුද්ගලයෙකු සිදුකරන නිර්මාණයක් සඳහා ආත්මීය කුසලතා ක්‍රියාත්මක වන හෙයින් ද ඕනෑ ම දාර්ශනික, සමාජ විද්‍යාත්මක, විද්‍යාත්මක හෝ කලාත්මක නව නිපැයුමක් දුර්ලභ ගනයේ අහම්බයකි. කලාකරුවාගේ ක්‍රියාකලාපය නිර්ණය කරනු ලබන්නේ සමාජ සංස්ථාවෝ අතර ගැටුම විසිනි. මෙකී තත්වය අවබෝධ කරගන්නා ප්‍රමාණය අනුව කලාකරුවා නිරායාසයෙන්ම විප්ලවයේ හවුල්කරුවා බවට පත්වන්නේ ය.

පවුල, සයුර අසල සිටින තරුණයෝ, පියරේ සහ කවටයා, ආගොනෝට්ස් ආදී නිර්මාණ රැසක් සිදුකළ බෙක්මාන්ගේ ත්‍රිරූපක අතරින් (සංකේතවාදී ප්‍රකාශනවාදය ප්‍රවර්ගය) වඩාත් ප්‍රකට නිර්මාණයක් ලෙස “පිටත්වීම” හැඳින්විය හැක. දෙපස රාමු වලින් වධදීම හා අංගවිච්ඡේදනය නිරුපණය වන අතර මැද රාමුවෙන් නිදහසේ ස්වර්ග රාජ්‍යය නිරුපණය වේ. වම් පස නිරූපිත වධක දර්ශනය ජර්මන් වධකාගාරවල පෙර දැකීමක් වැනි ය. නිල් තීන්ත බාල්දියක බහාලූ මිනිසෙක්ද, දෑත් කපාදමා කුලුනකට බැඳ ඇති මිනිසෙක්ද, අලුගෝසුවෙකුගේ පොරව යට බිම හෙළා ඇති ස්ත්‍රියක්ද එහි  වෙති. දකුණු පස ඵලකයෙහිද ඇත්තේ වධකාගාරයක් වුවද එහි වෙනසක් පවතී. එනම් රෞද්‍ර රසයක් ජනනය කරමින්  සංදර්ශනාත්මකව වදදීමේ සංස්කෘතිය මහජන භාවිතයක් බවට පත්වීම සංකේතමත් කිරීමයි. ඝාතකයා හා වධදීම මහජන විනෝද මාර්ගයක් හා ජනමාධ්‍ය උද්යෝගයක් බවට පත්වීම සංස්කෘතියක අඳුරු යුගයක් සනිටුහන් කරන්නකි. එනම් මානව සංහතිය බරපතල සරදමකට හා උභතෝකෝටිකයක පැටළි අකර්මන්‍ය ව සිටින බවකි. මැද රූපයෙහි ඇත්තේ හාත්පස රූප දෙකට සපුරා වෙනස් වූ ප්‍රසන්න රූපයකි. නමුත් එය පැමිණීමේ මොහොතක් නොව පිටත් වීමේ මොහොතකි. එහි සිටින්නේ රජෙක් සහ සිඟිති කුමරෙකු තුරුළු කරගෙන සිටින බිසවකි. ඒ තුළින් නිදහස පිලිබඳ බලාපොරොත්තු දැල්වීමක් නිවේදනය කරයි. චිත්‍ර ශිල්පියා පවසන්නේ “ඔබට කිසි දවසක ඔබගේ අතීතයෙන් නිදහස් විය නොහැකිය. ජීවිතය සිය මළ බෙරය වාදනය කරන අතරේ ඔබ අතීතය නැමති මෘතක ලේබරය සමඟ ගමන් කළ යුතුය. රැජින අත ඇත්තේ ලොව අගනාම වස්තුව වූ නිදහස යි. එය දරු සිඟිත්තෙකු සේ ඇගේ උකුලේ නැළවෙයි. වටිනා කමක් කියා දෙයක් ඇත්තේ නිදහස තුළ පමණි. නිදහස නමැති ජීවියාගේ පිටත් වීම අලුත් ආරම්භයකි.” යනුවෙනි.

මෙම චිත්‍රය රසවිඳින ඕනෑ ම මොහොතක අපට සිහියට නැංවෙන්නේ මෙරට තරුණ ඝාතන හා රාජ්‍ය ප්‍රචණ්ඩත්වය යි. එනම් ඉහත චිත්‍රය හා පර්යාය සම්බන්ධයක් ඇති නාට්‍ය දැක්මක් පසුගිය දෙසැම්බර් 31 වනදා විභාග පර්යේෂණ කටයුත්තක් සඳහා කැලණිය විශ්වවිද්‍යාලයේ  තෙවන වසර විද්‍යර්ථයින් විසින් ‘සංචාරක කෝකිලාව’ වේදිකා ගත කෙරුණි. අප ජීවත් වන්නේ තිස් වසරක යුද්ධය සේම භීෂණය සමයේ මරා දැමූ මළවුන්ගේ සොහොන් මත බව නැවත නැවත සිහි කැඳවූයේ එම නිර්මාණය යි. මෙම නාට්‍ය පියල් කාරියවසම්ගේ උපදේශකත්වයෙන් අකලංකා පිටවල හා ළහිරු විජේසිංහගේ අධ්‍යයෂණයෙන් නිෂ්පාදනය වූවකි. මෙම නාට්‍ය සඳහා වස්තු විෂය කොට ඇත්තේ 1990.01.24 වන දින බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් මරා දැමුණු ඇඹිලිපිටියේ පාසල් සිසුන් පිළිබඳ සිදුවීමයි. දැඩි මර්ධනකාරී, ප්‍රචණ්ඩ දේශපාලනික තත්වයක් පැවති අවදිය තුළ මිනීමැරුම්, අතුරුදහන් වීම්  සාමාන්‍යකරණය වී පැවතුනි. එසේම අවිධිමත් දේශපාලන ව්‍යුහය තුළ පෞද්ගලික පලිගැනීම් භීෂණයේ ම අංගයක් ලෙස ක්‍රියාත්මක විය. සූරියකන්දේ සිසුන් 26 දෙනෙකු ඝාතනය කළ සිදුවීම එවැන්නකි.  1994 ජනවාරි 03 වනදින හමුදා නිලධාරියෙකු එවකට රාවයේ කතෘ, වික්ටර් අයිවන්ට නිර්නාමිකව එවූ ලිපියක් හේතුවෙන් සූරියකන්ද මෙහෙයුම ක්‍රියාවට නැංවීය. නමුත් කල්ගත වෙත්ම සාධාරණ විනිශ්චයකින් තොරව ම ඇඹිලිපිටියේ ජනතාවට මෙම සිදුවීම අමතක වී ඇත.  ඔවුන් තම දරුවන්ගේම ඝාතකයින්ට ඡන්දය ලබා දී බලය පවරයි. එසේම ඉතිහාසය විමසා බැලීමේදීද පෙනී යන්නේ බලයට පත්වන ආණ්ඩු විසින් තම සුජාතභාවය ආරක්ෂාකර ගැනීම උදෙසා මෙකී ශිෂ්‍ය ඝාතනය යොදාගන ඇති බවයි.

ග්‍රේස් නම් ගණිතය ගුරුවරිය, නිර්මලා, විකී ප්‍රධාන කරගත් චරිත තුළින් ‘සංචාරක කෝකිලාව’ නාට්‍ය වේදිකා ගත විය. පැහැරගෙන ගොස් ඝාතනය කළ තම ශිෂ්‍යයන්ගේ අහිමි වීම හේතුවෙන් ඇතිවූ ආතතියට පිළියම් සොයමින්  ග්‍රේස් ගුරුතුමිය සංචාරයක් අරඹයි. ඇය සංචාරක කෝකිලාවක් වන්නේම ගායනා කරමින්, පා ගමනින්, ජනතාව දේශපාලන සවිඥානිකත්වය කරා ගෙන ඒමට උත්සාහ දැරීම නිසා ය. ඇගේ චරිතය අපට සිහි කැඳවන්නේ දලිත් කුල ජන්මයක් නිසාවෙන් පීඩනය පත්වූ ආකාරය නිවේදනය කරමින් සංචාරය කළ ඉන්දීය ජාතික පණ්ඩිතා රම්භායිය. ‘ගොඩගන්න වාරයක් වාරයක් පාසා හැම ආණ්ඩුවකින්ම උන් ආයේ ආයේ මැරුවා’ යනුවෙන් ග්‍රේස් ටීචර් පවසන්නීය. මෙම අංකයෙන් මුද්දර එකතු කිරීම විනෝදාංශය කරගත් හඳුවල ද, කතන්දර පොත් කියවන උදේෂ් ද, චිත්‍ර අඳීන කමල්ද, ඇතුළු මියගිය සිසුන් මෙන්ම ඔවුන් එනතෙක් බලාසිටින මව්පියන්ගේ අදෝන හඬ කාව්‍යාත්මකව ගෙනහැර දැක්වේ. එහිදී පැවති ආණ්ඩුව මැදිහත්ව නියපොතු, දත් උගුල්ලමින් වද හිංසනයට භාජනය වන සිසුන්ගේ තිබහට මත් වතුර හා දුම් සැපයීමේ අනුවේදනීය සිදුවීමද සිසුන්ගේ වැළපීමට හේතු වේ. නමුත් නාට්‍ය අරම්භක මොහොත ප්‍රභල වූවානම්, එනම් ග්‍රේස්ගේ චරිත නිරූපනය තීව්‍ර වුණි නම් වඩා බලපෑම් සහගත, ආකර්ශනීය ආරම්භයක් වන්නට තිබුනි.

මීළඟ අංකයෙන් හමුදා නිලධාරියෙකු තමා විසින් බේරාගත් ශිෂ්‍යයෙකු වන විකී සමග සමරිසි ලෙස ඇසුරු කරයි. කාර්යාලයේ සඟවන ලද සිසුන්ගේ පොත්පත් ලිපි ලේඛන විකි විසින් ම සෝදිසි කරන්නේ හමුදා නිලදාරියගේ මග පෙන්වීමෙනි. ඒ අතරතුර විකී නිර්මලා වෙත ලියූ ලිපියක් හසුවීමත්, නිර්මලා විමුක්ති ව්‍යාපාරයේ ඍජු ක්‍රියාකාරී සාමාජිකාවක් වශයෙන් ක්‍රියාත්මක වීමට නියමිත බැවින් එය වැලැක්වීමට ඇය සමග ප්‍රේමයෙන් බැඳීමට නිලධාරියා විකිට උපදෙස් ලබා දෙයි. තෙවන ජවනිකාවේදී අඩපණ කරන ලද විකී කිහිලි කරුවෙන් එනු දුටු නිර්මලා ඔහු ජීවිතය බේරාගැනීම පිලිබඳ වික්ශිප්ත ව, සිසු ඝාතන සම්බන්ධ සිදුවීම් අනාවරණය කරයි.

හතරවන ජවනිකාව වූයේ මානව හිමිකම් ක්‍රියාකාරිනියගේ මැදිහත්වීමෙන් සිදුකරන වැඩමුළුවකි. ඇයගේ උපදෙස් පරිදි එදින පන්තිය මෙහෙයවීම භාර දෙන්නේ විජිතටයි. ඔහු සංවිධානයේ අවශ්‍යයතා අනුව රූකඩයක් මෙන් නැටවෙද්දී ඔහුගේ මග පෙන්වීම යටතේ අනෙක් සිසුන් ද ශිෂ්‍ය ඝාතනය යටපත් කිරීමේ බාහිර බලපෑමට යටත්වීමට සිදුවන  ආකාරය වේදිකා ගතවේ. ශිෂ්‍ය ඝාතනයට ඍජුව ම සම්බන්ධ  දයානන්ද ලොකුගලප්පත්තිගේ අවුරුදු හතරක සිරදඬුවම නීතිමය ප්‍රතිපාදන අනුව ලබා දියහැකි උපරිම දඬුවම වීම අසාධාරණයට පත්වූවන් පමණක් නොව විනිසුරුවා පවා සෑහීමකටපත් නො කරන්නකි. මීළඟ අංකයේදී නාට්‍ය තුළ මවක් තම පුතුගේ ඝාතනයට අදාළ නඩුවාර සඳහා නොවරදවා ම සහභාගී වුවත් ඇය නඩු තීන්දුව ලබාදෙන දිනයේ ඒ සඳහා සහභාගී වීම ප්‍රතික්ෂේප කරන අතර නඩු තීන්දුව බාර ගැනීමට වඩා ඇයගේ අත්කම්වලින් ලබාගන්නා සුළු මුදලින් තමාට ඇත්තේ මානසික රෝගයක් යැයි වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සුදුසුයැයි ඇය පවසයි. 

හයවන ජවනිකාව තුළ නිර්මලා උත්සාහ කරනුගේ තම ප්‍රේමවන්තයා වන මියගිය ප්‍රසන්නගෙන් හිස්වූ හිඩැස විකී තුළින් පුරවාගැනීමටයි.. කෙසේ වෙතත් වෛරයයි, ආදරයයි, අහිමිවීමයි කැටිවූ සංකිර්ණ හැඟීමක් කරා භීෂණ සමයේ මිනිසුන් රැගෙන ඒමට හේතුව තම ලයාදරයන්ගේ වෙන්වීමත්, ඔවුන්ට සාධාරණය ඉටු නොවීමත්ය. නිර්මලා විකිගෙන් ඉල්ලා සිටින්නේ ඇය සමඟ අරගලය අවසානය දක්වා සිටින ලෙසයි. මීළඟ අංකයෙන් ග්‍රේස් ගුරුතුමිය රෝගියෙකු සේ සලකා ඇයගේ නැගණිය විසින් ප්‍රතිකාර සඳහා රැගෙන යාමට සැලසුම් කළත් එය ව්‍යර්ථ වන්නේ ඇය ලිපියක් ලියා හොර රහසේ ම නිවසින් පිටව යාමත් සමග යි. අවුරුදු විස්සෙන් විස්සට තරුණයන් ඝාතනය කිරිම නැවැත්වීමේ බලාපොරොත්තුවෙන් නික්මෙන ඇය ඕනෑ ම අවකාශයක, ඕනෑ ම වේශයකින් පෙනී සිටීමට ඉඩ තිබෙන බව ලිපියේ සඳහන් කර තිබේ. පසුව ග්‍රේස් ටීචර්ගේ නිවසට පැමිණි  තරුණියකට නිර්මලාට මුණගැසේ. විශ්වවිද්‍යාලයට පිවිසීමට ගුරුතුමියගේ ආශිර්වාද ගැනීමට පැමිණෙන ඇයට තම සොයුරාගේ ඝාතනයට වරදකරු තමා බවට තරුණිය චෝදනා කරයි. අවසානයේදී  නිර්මලාගේ පැහැදිලි කිරීම නිසා සාධාරණය ඉටුකරගැනීමට තමාට ඇති එක ම බලාපොරොත්තුවද  නිර්මලා බව ඇයට වැටහේ.

කතකයෙකුගේ ස්වරූපයෙන් ජනතාව දැනුවත් කරන ගුරුතුමිය දැනුම් දෙන්නේ මියගිය ශිෂ්‍යයන්, ශිෂ්‍ය නායකයන්ගේ යුක්තිය සාධාරණත්වය වෙනුවෙන් නිර්මලා, විජිත, ශාමේන් මැදිහත්වී සිදුකරමින් යන අරගලය මානසික ආතතිය, ඉච්ඡාභංගත්වය, ස්වාර්ථය වැනි කරුණු නිසා නොනවත්වා පවත්වාගන යන්නේ නිර්මලා පමණක් බවයි. “නිර්මලා ගැහැනියක් වීමයි මට තියන උත්තරීතර සතුට. ඒවගේ දෙතුන් දෙනෙකුට පුළුවන් දවසකදී මේ ලෝකේ වෙනස් කරන්න” තවදුරටත් ඈ පවසන්නීය.

මේ අතරතුර විකී සෑම තොරතුරක්ම හමුදා නිලධාරියාට ලබා දෙන නමුත් නිර්මලා ගැන ඔහු විශේෂ සඳහනක් නො කිරීමෙන් ඇය කෙරේ ඇති ප්‍රමේයත්, හමුදා නිලධාරියා සමග ගෙවුණු කාලය බලහත් කාරයෙන් සිදු වුවක් බවත් ප්‍රකට කෙරේ. වදකාගාරවල කාලය ගතකිරීමෙන් ඇතිවූ ආතතිය දුරු කරගැනීමට ඔහු විකිගේ ඉක්මනින් පැමිණීම බලාපොරොත්තු වේ. නිර්මලා පිළිබඳ ලිංගික ඊර්ෂ්‍යාවට පත් ඔහු “ප්‍රසන්නව මතක්වෙන්න කොන්ඩ ගස් නෑ උගේ පනාවක් එවන්නම්” ලෙස පවසයි. මීළඟ අංකය තුළින් වැඩමුළු පැවැත්වූ මානව හිමිකම් ක්‍රියාකාරිනිය එළිවෙයි. ඇය විසින් ශිෂ්‍ය ඝාතන සිදුවීම් භාවිතා කරමින් සිසුන්ගේ අතින් පෙත්සම්, ලියුම් ආදිය එක්රැස් කරගෙන ශිෂ්‍යයත්වයක් සඳහා විදේශ ගතවීම සදහා අවශ්‍ය සුදුසුකම් සපුරාගනී.

අවසන් ජවනිකාවට පෙර නිර්මලා ඇතුළු පිරිස බැඳ තබන ලද ශිෂ්‍යයෙකු වටකරගන සිටී. විශ්වවිද්‍යාල තුළ ක්‍රියාත්මක වන උද්ඝෝෂණ පෙළපාලි සිහි කැඳවමින්, දැනට පවතින ගැටළු වන පෞද්ගලික විශ්වවිද්‍යාල, පුද්ගල බද්ද, තත්වයෙන් පහල ආහාර සේම දේශනවල ගුණාත්මක භාවයක් නොමැති වීම, ශිෂ්‍ය සභා අහෝසි කිරීම ගැන කතා කරයි. බැඳ තබා ඇති සඳුන්ට හිරිහැර කිරීමට සුදානම් වෙද්දී වහලෙකුට වුවත් පවතින කතා කිරීමේ නිදහස  අගය කරන නිර්මලා වාමාංශික පක්ෂවල පවතින් අර්බුදය ප්‍රකාශ කරයි. නමුත් ඔහු නිදහස් කළ විටදී ප්‍රේක්ෂකයන් පුදුමයට පත් කරමින් සඳුන් පවසන්නේ ඔහුට පැවසීමට දෙයක් නොමැති බවයි. ඇඟිලි දහයම තැලුවද ඔහු හිතන බව නතර කිරීමට නො හැකියි යැයි ඔහු පවසයි. ඔහු සටන් පාට එක්කරයි.

“ඉංග්‍රීසි අධ්‍යායපනය විදිමත් කරව්!, ගණිතය ඉගැන්වීම සඳහා නිර්මානාත්මක ක්‍රම භාවිතා කරව්!, විශ්වවිද්‍යාල පොදු දේපලවලට වෛරකිරීම් දැන්වත් නවතව්!, රුසියානු සාහිත්‍ය හැකිනම් කියවව්!, තම පෞද්ගලික දේශපාලන අවශ්‍යයතා ඉටුකරගැනීම සඳහා ශිෂ්‍ය සංගමය භාවිතා කිරීම වහාම නවතව්!, ශිෂ්‍ය ඝාතනය රෝමාන්තික කරණයෙන් මුදවා ඔවුන් මරාදැමූ  දේශපාලනය සංස්කෘතිය දැන්වත් විග්‍රහ කරව්! ”

නැවත නැවතත් විවේචනාත්මකව මියගිය අයගේ දේශපාලනය හැදෑරීම පෞද්ගලික වාසි උදෙසා ඔවුන් නොවිකුණන ලෙස නිර්මලා ද ඉල්ලාසිටි. නීතිය හා නීතිය හැදෙන සහා ගර්භය වෙනස් කිරීමේ අවශ්‍යතාවය පෙනවාදෙන ගුරුතුමිය, “නීතිය පිනි බින්දුවක පවිත්‍රත්වයෙන් හා කඳුයායක ස්කන්ධයෙන් මහපොලව මත ස්ථාපනය වන දවසක  නැවත මියගිය සිසුන් නැගිට පාසල් යාම” ඇයගේ බලාපොරොත්තුවයි.

දැන් නැවත ඉහත චිත්‍රය හා මා විසින් අසම්පූර්ණ ලෙස පෙළ ගැස්වූ සංචාරක කෝකිලාව නාට්‍යයේ කතා වින්‍යාසය සම්බන්ධ කර බලමු. බැලූ බැල්මට ම්ලේච්ඡත්වය නියෝජනය කිරීම නිර්මාණ දෙකෙහි ම මූලික පෙනී සිටීමකි. ඒ තුළින් වදකාගාර පිළිබඳ අදහස උත්ප්‍රාසාත්මකව ගෙන ඒමත් වදකාගාර හා සමාජ සංස්කෘතිය දෘෂ්ටිවාද අතර සම්බන්ධය පැහැදිලි කරයි. අතිශය භිෂණ සමයකින් පසුව එළඹෙන කාංසාභරිත තත්ත්වයකදී යළි එම භිෂණයට එරෙහි ප්‍රතිවිරෝධයක් ගොඩනගනු වෙනුවට එය ඉක්මනින් අමතක දැමීමේ උත්සාහය ධනවාදය තුළ අනිවාර්යතාවයක් ලෙස මෙම නිර්මාණ තුළින් අපට විෂද කරයි. නමුත් සංචාරක කෝකිලාව වැනි වීර (එපික්) චරිත එම කාංසාභරිත මනෝභාවයේ වරප්‍රසාදිත තත්ත්වය උත්කර්ෂයට නංවමින් මහා සංහාරයට එරෙහි හඩක් නගනවා සේ ම යහපත් සමාජ අවශ්‍යතාවක වුවමනවා හා එය දිනා ගැනීමේ විප්ලවීය හඩ අවදි කරයි. ඉතා ඉක්මනින් සාමාන්‍යකරණය වීමේ අනතුරක් පවතින ධනවාදී සමාජය තුළ මෙවැනි රැඩිකල් පෙනී සිටීම් නිර්මාණ තුළ ගෙන ඒම විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන් ලෙස සාධනීය තත්ත්වයක් බව කිව යුතුය. විප්ලවය, රැඩිකල්බව, ක්‍රමවිරෝධය වැනි සංකල්ප සැඟවී ඉවත දමා ඇති යුගයක ඒ වෙනුවෙන් ඉඩක් වෙන් කරන කලා කෘතියක් හා එවැනි අදහස් පද්ධතියක් සන්නිවේදනය කිරීම වඩා ප්‍රගතිශීලී වනවා සේ ම ඉතිහාසය යළි කියවීම තුළින් සමකාලීන අර්ථ කථන සැපයීමට උත්සහ ගැනීම තුළින් අද දවසේ විකල්ප දේශපාලනය පිළිබඳ යළි සිතාබැලීමට මාවතක් අපට විවර කරයි.

අවසාන වශයෙන් තවත් ආකාරයකට කියන්නේ නම් සමකාලින ධනවාදය හා ගෝලීයකරණයේ සංවිධානාත්මක වැටලීම හමුවේ බිඳුණු මානසික තත්වය සමඟ සම්පුර්ණයෙන් පරාරෝපිත මිනිසා, යළි ඔසවා තැබීම ලෙහෙසි පහසු දෙයක් නොවේ. අද අප මුහුණ දී තිබෙන බැරෑරුම් තත්වය එයයි. ලෝකය යනු තවදුරටත් මහජනයා සංදෘෂ්ටික වන තැන පමණක් නොව එය දේශපාලන අරගලයකින් විසඳාගත යුත්තක් වේ. ගැටලුව නම් අප ජීවත් වන්නේ කවර ලෝකයකද? අපට ජීවත්වීමට අවශ්‍ය ලෝකය කුමක්ද? යන්නයි. අවසාන වශයෙන් එවැනි වටපිටාවක රචකයෙකු, අධ්‍යයක්ෂවරයෙකු, නළුවෙකු වශයෙන් තම කාර්යයභාරය ඉටු කිරීමට රටක සාරය වූ විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන් දැරූ ප්‍රයත්නයක් ලෙස සංචාරක කෝකිලාවට මාගේ සුභාශිංසන!

චාමනී දර්ශිකා
(bavablog පළවිණි)

Comments

Popular posts from this blog

කාලගෝලගේ දේහමය දේශපාලනය තේරුම් ගැනීම.

බයිලා ගහන දවසක්

“Difficulty” is a cultural script - ‘අභිවහනයක් ලෙස සලකා’ අධ්‍යනය කිරීම