ගෙවී යන කම්කරු දිනය වෙනුවෙන්....
"අපි ගෙවන්නේ නැහැ අපි ගෙවන්නේ නැහැ" වේදිකා නාට්‍ය
චාමනී දර්ශිකා
දිරාපත්වන ධනවාදී සමාජයක වෙසෙන පුද්ගලයාට වෛරී වූ විවිධ සමාජ සංස්ථාවෝ වෙති. පුද්ගලයාත් මේවාත් අතර ගැටුමක් පවතී. එවැනි සමාජයක වෙසෙන පුද්ගලයෙකු වන කම්කරුවාගේ ක්‍රියාකලාපයේ නිර්ණය කරනු ලබන්නේ මේ ගැටුම විසිනි. මේ තත්ත්වය තේරුම් යන ප්‍රමාණයට කලාකරුවා ඉබේම විප්ලවයේ හවුල්කරුවන් බවට පත්වන්නේය (ලියොන් ට්‍රොට්ස්කි හා සාහිත්‍යකලා). විදග්ධ සම්භාව්‍ය කලා ධාරාවන්ට ප්‍රතිපක්ෂව තම සමස්ත කලාව ව්‍යාපෘතිය පෙළ ගස්වා ගත් දාරියෝ ෆෝ කලාකරුවෙකු ලෙස මෙකී විප්ලවයේ හවුල්කරුවෙක් වන්නේය. නළුවෙකු, නාට්‍ය රචකයෙකු, නාට්‍ය අධ්‍යක්ෂවරයකු, වේදිකා අලංකරණ ශිල්පියෙකු, ගීත රචකයෙකු සහ මාක්ස්වාදී දේශපාලන මත වාදියෙකු වශයෙන් කැපී පෙනෙන දාරියෝ ෆෝ විසින් නාට්‍ය 50 කට වැඩි ප්‍රමාණයක් නිෂ්පාදනය කර ඇත. "උන් එක ගිටාරයක් විනාශ කළ නමුත් දහසක් තනු ජනතාව සතුව ඇත" යන නාට්‍ය රට වටා පෙන්වමින් යන අවස්ථාවේ සාර්ඩිනියාවේ දී ඔහුව අත්අඩංගුවට ගන්නා ලදි.
මෙහිදී නිෂ්පාදන බලවේගයන් සියල්ල ධනපතීන් කිහිපදෙනෙකු අතර පවතී. ඒ අතර ජනතාවගේ පුළුල් කොටස් වැඩි වැඩියෙන් නිර්ධනීන් බවට පත්වේ. එපමණක් නොව ධනපතීන්ගේ ධනය වැඩි වන තරමට නිර්ධයින්ගේ තත්ත්වය වඩාත් දුගී බවට සහ විඳ දරාගත නොහැකි තත්ත්වයකට පත්වේ. මේ හේතූන් නිසා පෞද්ගලික දේපොළ අහෝසි කරලීම කළ හැකි දෙයක් පමණක් නොව අනිවාර්යයෙන්ම කළ යුතු දෙයක් බවට පත්වී ඇත(කෙමියුනිස්ට් ප්‍රකාශය).
1964 දී ඉතාලියේ පැවැති ආර්ථික හා සමාජ අර්බුදයේ සමග මුදලේ අගය හිටිහැටියේම පහත වැටීම නිසා සමහර පළාත්වල විරැකියාව සහ ජීවන වියදම සියයට 30කින් පමණ ඉහළ නැංගේ ය. මේ වනවිට කම්කරුවන් තමන්ගේ පැවැත්ම සඳහා භාවිතයට ගත් එකම අවිය වූයේ වැඩ වැරීමය. එයින් පමණක් ම තමන්ගේ ගැටලු සඳහා සාධාරණ පිළියම් නොලැබීම නිසා කම්කරුවන් යම්කිසි ප්‍රමාණයකින් අතරමං වෙන්නට පටන්ගත් අතර නව පියවරක් ගැනීමේ උවමනාව මතුවූ බව පැහැදිලිය. මේ අර්බුද අවස්ථාවේ කම්කරුවන් විසින් වැඩ වැරීමට විකල්පයක් ලෙස ප්‍රතික්‍රියා දක්වන්නට පටන් ගත්තේ ගෙවල් කුලිය, විදුලිය සහ ගෑස් සඳහා ගෙවීම තමන් විසින් ස්වාධීනව තීරණය කළ ප්‍රමාණය දක්වා පහත දමා ගැනීම මෙන්ම භාණ්ඩ මිල සාධාරණ මට්ටමක් දක්වා පහත දමන ලෙස සමාගම් කෙරෙහි බල කිරීමට පටන් ගැනීම සමගය. සමහර සමිති වලට මේ ක්‍රියාවන් හා එකතු වන්නට සිදුවූ අතර කැරැල්ල සඳහා දේශපාලන විසඳුම් සෙවීම සඳහා දේශපාලන පක්ෂ පවා යොමු විය. ධනපති කොටස්වලට සිදුවූයේ උසාවියේ පිහිට පතන්නටය. තත්ත්වය සෑහෙන සංකීර්ණ දේශපාලන මුහුණුවරක් ගත් බව පැහැදිලිය( ඩාරියෝ ෆෝගේ අපි ගෙවන්නේ නැහැ අපි ගෙවන්නේ නැහැ පරිවර්තනය).
'Teater Kollektivet La Comune' නැමැති නාට්‍ය කණ්ඩායම සමඟ දාරියෝ ෆෝ වැඩකරමින් සිටි මේ අවධියේ "කුසගින්න" මූලික තේමාව ලෙස ගනිමින් "අපි ගෙවන්නේ නැහැ අපි ගෙවන්නේ නැහැ" නාට්‍ය මෙම කම්කරුවන් තවතවත් ධෛර්යයමත් කිරීමේ අරමුණ ඇතිව රචනා කොට නිශ්පාදනය කරන ලදි.
දාරියෝ ෆෝ පවසන්නේ අවස්ථානුකූලව කුස ගින්න මැඩ ගැනීම සඳහා මිනිසා යොමුවෙන ඉතා තීරණාත්මක තත්ත්වය හාස්‍ය දනවන ලෙස වේදිකාවට ගෙනා ආ මෙම නාට්‍යය කම්කරු පන්ති නාට්‍යයක් ලෙස හැදින්විය හැකි බවයි. මිලානෝ වල සිටින කර්මාන්තශාලා කම්කරු කණ්ඩායම් ඉතාමත් පැහැදිළිවම මෙම නාට්‍යයේ දෙබස් කෙරෙහි බලපා තිබේ. තවද ඔහු පවසන්නේ, "මේ පවුල් දෙක (නාට්‍යයේ එන) අයත් වන්නේ කම්කරු පන්තියට. මෙතනදි මතුවෙන මූලික ගැටලුව ඒ අයට පමණක් පෞද්ගලික දෙයක් නෙවෙයි. මිරිකෙන කම්කරු පන්තියේ මූලික ප්‍රශ්ණය තමයි ජීවිතය ගැටගසා ගැනීම සහ පවත්වා ගැනීම. මෙන්න මේ යථාර්ථය අනුව අපට නාට්‍ය සාමූහික යෙන් ඉවත් කර පෞද්ගලික තලයක රඳවා කතා කරන්න හෝ නිෂ්පාදනය කරන්න බැහැ. ප්‍රශ්නය පොදුයි"
මෙම නාට්‍යයෙන් උපුටා ගත් දෙබස් කිහිපයක් මෙසේය.
අන්තෝනියා- උඔලට අයිතියක් තියෙනවා ගන්න බඩු වලට සාධාරණ මිලක් ගෙවන්න. ඒක හරියට වැඩ වර්ජනයක් කරනවා වගේ වැඩක්. එක පැත්තකින් බැලුවම වැඩවර්ජනයකට වඩා මේ ක්‍රමය හොඳයි. මේ වර්ජනය බැලුවහම පාඩුව කෙලින්ම ධනපතින්ට. ඔව් අපි මේක තවත් හොඳට ක්‍රමවත් කරමු....... අපි ගෙවන්නේ ම නැහැ....... අපි ගෙවන්නේ ම නෑ...... ඔය කොම්පැනි කාරයෝ ළඟ තියෙනවා අවුරුදු ගාණක් තිස්සේ අපෙන් ඇඟට නොදැනී හොරකං කරගත්තු සල්ලි. අවුරුදු ගණනක් තිස්සේ බඩු ගන්න අපි ගෙවපු සල්ලි. ඔන්න එතැන හිටපු හැම කෙනෙක්ම පුළු පුළුවන් තරම් බඩු අරගත්තා. අපි ගෙවන්නේ නැහැ...... අපි ගෙවන්නේ නැහැ...... මාත් පුළුවන් තරම් හයියෙන් කෑ ගැහුවා, මං විතරක් නෙවෙයි එතන හිටපු හැම කෙනෙක්ම එක පොකුරට කෑගැහුවේ.....
කොස්තාපල්- අනුකම්පා රහිත පාහර සූරාකෑම බොහොම අලංකාරයට සළුපිළි අන්දවලා, මිත්‍ර පාක්ෂික මුහුණුවරක් පෙන්නන්න කඩතුරාවකින් වහල බාධාවක් නැතිව දිගටම කරන්න ඉඩකඩ දෙනවනම් නීතිය සම්පූර්ණයෙන්ම අසාධාරණයි .
මොකක්ද ඇති කරන්න බලාපොරොත්තු වෙන වෙනස? මොන අරමුණක් සඳහාද ඒ වෙනස ඇති කරන්නේ? කොහෙද ඒ වෙනස ඇති කරන මිනිස්සු ඉන්නේ? නිකං හීනයක් විතරයි. දන්නවද ඔය ක්‍රමයට වෙනසක් ඇති කරන්න රදල පවුල් කිහිපයක්ම දෑත් මුදුන් කරලා අපිට පොරොන්දු වුණේ අවුරුදු තිහ හතලිහකට කලින්. නමුත් ඒ ගොල්ලො මෙච්චර කාලයක් එකම දේ තමයි පුටු රත් කරපු එක. පැලැස්තර ගහගෙන මිනිස්සුන්ට සුරංගනා කතා කියා මේ රාජ්‍ය යාන්ත්‍රණය එක දිගටම දක්වපු එක. අපිත් අරයගෙන් දෙනකම් මෙයා ගෙන දෙනකම් කට බලියන් උන්නා. ඔන්න මාව විශ්වාස කරන්න, මේ සමාජ ක්‍රමයෙ නියම වෙනසක් කරනවා නම් ඒක කරන්න ඕනෑ, වැදගත් දේ තමයි ගතවන සීමාවක් නැති කාලය හා ශ්‍රමය ඒ වගේම දැඩි ආත්ම විශ්වාසය, ඉවසීම, කැපවීම, නිවැරදි ලෙස තීන්දු තීරණ ගැනීම ......
ධනේශ්වර මධ්‍යම පංතියේ හඩු ගඳ ගහන සංස්කෘතිය තදකර පුරවා තියෙන ගෝනිය තියුණු උල් කටුවකින් හිල් කරන්න ඔහුගේ රංග රටාව භාවිත කර තිබේ. එසේම ඔහු ඔහුගේ ප්‍රහසන නාට්‍ය කලාව විස්තර කරන්නේ "හොඳට කට දිග ඇරලා කරන රළු හිනාවෙන් තමයි යම් අවස්ථාවක් සඳහා දක්වන අන්තිම ඉහළ ප්‍රතික්‍රියාව" යනුවෙනි.
එසේනම් මෙම වසංගත සමයේ කරකියා ගැනීමට යමක් නොමැති ව අසරණ වූ, පෞද්ගලික දේපළ පවා අහිමි, කම්කරුවන් කුසගින්න දරා ගැනීමට නොහැකිව ඉදිරියේදී කුමන ආකාරයේ ප්‍රතිචාරයක් දක්වනු ඇත්ද ?
(ඉහත දැක්වෙන්නේ ප්‍රසන්නජිත් අබේසූරිය, ප්‍රදීප් රාමවික්‍රම, පියල් කාරියවසම්, නිපුණි ශාරදා, තුසිත ලක්නාත් යන ආචාර්යවරුන් ගේ උපදේශකත්වයෙන්, සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ උපාධි අපේක්ෂකයන්(2013/14) විසින් රංගගත කරන ලද අපි "ගෙවන්නේ නැහැ අපි ගෙවන්නේ නැහැ" නාට්‍ය නිර්මාණයේ ඡායාරූප කිහිපයකි).චාමනී දර්ශිකා
ඡායාරූපl ඩිලාන් ( Dilan N Gunaherath )












Comments
Post a Comment