“Difficulty” is a cultural script - ‘අභිවහනයක් ලෙස සලකා’ අධ්‍යනය කිරීම
සුමුදු විකසිත විසින් පසුගිය දා Music matters ආයතනය සංවිධානය කළ “The Listening Biennial 2025 Colombo” ප්රාසාංගික වැඩසටහනට සාපේක්ෂව ඉදිරිපත් කළ නර්තන/ප්රාසාංගික ඉදිරිපත් කිරීම පිළිබඳව සටහනක් තබමි.
ඡායාරූපය 02
‘අභිවහනයක්ම’ අධ්‍යයනය
කිරීම සහ ‘අභිවහනයක් ලෙස සලකා’ අධ්‍යනය කිරීම. නර්තන, නාට්‍ය හා සංගීත ප්‍රසංග යනාදී
ඕනෑම ප්‍රාසාංගික කලාවක් අධ්‍යනය කිරීම/ඇගයීම/විචාරය සිදුවන්නේ සෞන්දර්යයත්මක ගුණය
පිළිබඳව පවතින මතවාද පදනම් කරගෙනයි. මෙය දෘෂ්‍ය හා ප්‍රාසාංගික කලා අධ්‍යයනය කර තිබෙන
අයෙක් දන්නා කරුණකි. උදාහරණයක් ලෙස, වජිරා
චිත්‍රසේනගේ නර්තන ඉදිරිපත් කිරීමක් විශිෂ්ට යැයි යමෙකුට කිවහැකි වන්නේ, ඇයගේ නර්තන
ශක්‍යතා, නිර්මාණාත්මක ප්‍රවේශය, තේමාත්මක වැදගත්කම, ආනුශාංගික අංගවල ප්‍රභලත්වය යන
කාරණා හේතුවෙනි. මෙය මේ ආකාරයට අධ්‍යනය කිරීම ‘අභිවහනයක්ම’ අධ්‍යයනය කිරීමකි. ඒ අනුව
කෙනෙක්ට වජිරාගේ නර්තනය A සමඟ B සමඟ C සමඟ වුවද සැසඳීමේ හැකියාවක් තිබේ.
එසේනම්, ‘අභිවහනයක් ලෙස
සලකා’ අධ්‍යනය කිරීම යනු කුමක්ද? එහිදී එම නර්තන අවස්ථාවේ සිදුවන ඕනෑම ක්‍රියාවකට පර්යේෂකයාගේ
අවධානය යොමු විය හැකිය. නැටුම නටන්නට පෙර නර්තකයාගේ චර්යාවන් කෙසේද?....(මන්තිලක, පි.
79). සුමුදුගේ ඉදිරිපත් කිරීම උඩරට නර්තන ශිල්පියෙකු ලෙස ඔහුගේ කුඩා කළ සිට පැවති අත්දැකීම්,
වර්ථමානගේ ඔහු විසින් පුහුණු වන කායික මානසික සමබරතාවය පිළිබඳ පුහුණුව හා සජීවී සිනමා
අත්දැකීම්, ශබ්ද සැළසුම්කරණය යන ඔහුගේ පුහුණුව
ද පදනම් කරගෙන සිදු කරන ලද්දක් බව පැහැදිලි ය. ඔහු මෙම ප්‍රාසාංගික ඉදිරිපත් කිරීමේ
වැඩි කාලයක් ගතකළේ, උඩරට නර්තන ශිල්පියාගේ වෙස් ඇඳුම් කට්ටලය ඇඳපැලැද ගැනීමටයි. වෙස්
ගැනීමේ මෙම ක්‍රියාවලිය එතරම් වැදගත් වන්නේද? ඒ සඳහා වැයවන ශ්‍රමය හා ඇඳුම් පැළැඳුම්
ඇඟලා සිටීම හා එසේ සිටින්නේ කෙතරම් වේලාවක්ද යන්න වැදගත් නොවන්නේ ඇයි?
සාමාන්‍යයෙන් මේ ඇඳුම
කොච්චර වෙලාවක් මේ විදිහට ඇදගෙන ඉන්නවද? ඉදිරිපත් කිරීම අවසානයේ එක් ප්‍රෙක්ෂිකාවක්
අසා සිටියාය.
“Difficulty” was a cultural script.
මහාචාර්ය ඩුවයිට් කොන්කර්ගුඩ් (1949–2004) ප්‍රසිද්ධ ඇමරිකානු ප්‍රාසාංගික කලා අධ්‍යනය
පිළිබඳව උගතෙකු, මානවශාස්ත්‍රඥයෙකු හා සමාජ ක්‍රියාධරයෙකු වේ.
පරිධියට හෙළන ලද ආසියානු ප්‍රසංග කලාව ගැන
සාකච්ඡා කරන ඔහු, 'අපිරිසිදුකම' (dirtiness) සහ 'දුෂ්කරතාවය'
(difficulty) යන සංකල්ප දෙක තමා අයත්
නොවන වෙනත් ප්‍රජාවක් අභිමුඛ වීමේදී ඉදිරියට පැමිණෙන ප්‍රධානම සංකල්ප දෙකක් ලෙස පැහැදිලි
කරයි. විශේෂයෙන්ම මෙම නිරීක්ෂණ මධ්‍යයේ සිටින යැයි සැළැකෙන බටහිර සහ යුරෝපීය ප්‍රජාව
නියෝජනය කරයි. වරක් මාගේ පශ්චාද් උපාධි පාඨමාලාවේ එක් ශිෂ්‍යයෙක් දේශකයාගෙන් ඇසුවේ,
කූත්තම්බලමේ විශාල පොල්තෙල් පහනක් ඉදිරිපිට, එය දෙස ඇසිපිය නොහෙළා නර්තනයේ යෙදෙන සාම්ප්‍රදායික
කුටියාට්ටම් ශිල්පියාගේ ශ්‍රමය සාධාරණ එකක් වන්නේද යන්නයි. මෙය ඔබ අප සියල්ලන්ම සංවාදයට
ගත යුත්තකි.
තායිලන්තයේ බෑන් විනායි කඳවුරේ හ්මොන්ග් සරණාගතයින් (Hmong refugees in
Thailand’s Ban Vinai Camp) ගැන බටහිර ආධාර නිලධාරීන් සහ
නිලධාරීන් කතා කළ ආකාරය ඩුවයිට් කොන්කර්ගුඩ් විස්තර කළ
ආකාරයට “දුෂ්කරතාවය” යන වචනය කේන්ද්‍රීය විය. නමුත් මෙය මිනිසා ඇතුළත්
ආයතන පද්ධතියක් විසින් සිදු කරන අතර, රොමාන්තික කරණයක් ලෙස බොහෝ අවස්ථාවල ක්‍රියා කරයි.
මෙය එක්තරා ආකාරයකට පරිධියේ සිටින ප්‍රජාව සමඟ තවදුරටත් දුරස්ථභාවය පවත්වා ගැනීමට
ක්‍රියාත්මක වන එක් ස්වරූපයක් සහ ප්‍රතික්ෂේප කිරීම කිරීමට
හේතුවන කරුණකි. මෙය දියුණු රටවල්, පරිධියේ රටවල් පිළිබඳව නොදැනුම සහ තම සංස්කෘතිය හේතුවෙන්
සීමාසහිත වීම නිසා පත් වූ තත්ත්වයක් සහ වෙනස තහවුරු කරගැනීමකි. 'දුෂ්කරතාවය'
(difficulty) යන්න සංස්කෘතික න්‍යායපත්‍රයක්
වන්නේ එබැවිනි . එය සාපේක්ෂ හැඟීමක ලක්ෂණ දරයි.
ශිල්පියා ඇඳුම් ඇඟලා ගැනීමේදී ඇසුනේ නර්තනයට අදාළ නොවන ශබ්දයකි. ඉදිරිපත් කිරීම පුරාවටම දුටු එක් ක්‍රියාවක් නම් සුමුදු ඔහු පැළදි බන්දි වළලු හරි ආකාරව අතෙහි රඳවාගැනීමට උත්සාහ කිරීමයි. එහිදී නැගෙන ශබ්දය නර්තනයට අදාළ නොවන හඬකි. ප්‍රාසාංගික ඉදිරිපත් කිරීම සිදුකරන භූමියේ වටයක් ඇවිද පැමිණෙන විට අපට ඇසුනේද නර්තනයට අදාළ නොවන සිලම්බු නාදයයි. මේ සියලු ශබ්ද සාම්ප්‍රදායික නර්තන ඉදිරිපත් කිරීමේදී තිරය පිටුපස ඇසෙන හඩවල් වේ. එසේනම්, ඔහුගේ ඉදිරිපත් කිරීම නර්තනයක් නොවන්නේද? ප්‍රාසාංගික කලා න්‍යායට අනුව අභිවහනයක් ලෙස සලකා ශිල්පියාගේ "නර්තකයෙකු බවට පත් වීමේ" සමස්ථ ක්‍රියාවලිය ප්‍රාසාගික ඉදිරිපත් කිරීමකි. ඒ අනුව, මේ සියලු ශබ්ද නර්තනය නොවන නර්තනයක ප්‍රාසාංගිකත්වය බව මෙම ලියමනෙන් සාකච්ඡාවට ගැනීමට උත්සාහ කළෙමි.
එබැවින් ශිල්පියෙකු තම ශිල්පයේ නියැලීම දුෂ්කර කාර්‍යයක් (නර්තන ශිල්පියා තම හඟල ඇදීම සඳහා ගතකළ කාලය, වෙහෙස සහ හැදපැළද ගෙන පැය ගණනක් නර්තනයේ යෙදීම අසීරු යැයි නිරීක්ෂණය කිරීම මත පදනම්ව) යන්න සංස්කෘතික නිරීක්ෂණයක් මිස යථාර්ථය නොවනවා මෙන්ම, නර්තනය ආරම්භ වන්නේ වෙස්ලා ගැනීමෙන් පසුව ද නොවන බව තහවුරු වේ. මෙම හේතූන් නිසා එළඹ ඇත්තේ ශිල්පියා පමණක් නොව ප්‍රේක්ෂාගාරයද තම දෘෂ්ටිවාදයන්ගේ ප්‍රගතිශීලීත්වය හා සෞන්දර්යයාත්මක දෘෂ්ටිය පිළිබඳව සැලකිලිමත් විය යුතු කාලයකි.
ඡායාරූපය 03
ඡායාරූපය 04
චාමනී හේවාගමගේ





Comments
Post a Comment