බයිලා ගහන දවසක්
"උඹලා දෙන්නම මේකට විරුද්ධ රට ජාතිය ආගම ගැන තියෙන කැක්කුමකට නෙවෙයි. චීවරයක් ඇඳගත්ත ගෑනියෙක් මේක කරන එක ගැන කැක්කුමකට".
බයිලා ගහන දවසක් වේදිකාගත වන්නේ කිනම් පසුබිමක දැයි ප්‍රථමයෙන්ම විමසා බලමු. රෙකෝඩින්ග් ස්ටූඩියෝ එකක ලොබි එකක් පසුතලයක් කරගෙන තිබෙන ආකාරය දිස්වේ. වේදිකාව සම්පූර්ණයෙන් ආලෝකමත් වී නැත. මෙම නාට්‍යයේ ප්‍රධාන චරිත ත්‍රිත්වයක් දැකිය හැක. ප්‍රථමයෙන්ම අප ඉදිරිපිට පෙනී සිටින චරිතය වන්නේ ධම්මික ඇන්ටනී ය. ඔහු කලිසමක් හා අත් දිග කමිසයකින් සැරසුණු වයස අවුරුදු 48ක් පමණ වන අයෙකි. ධම්මික ඇන්ටනී කිසියම් තාලයකට බයිලා ගායනයක් ලියමින් පුහුණු වෙමින් සිටියි. පසුව එම ස්ථානයට එම ආයතනයේ අයිතිකරු පැමිණේ. මෙවන් පසුබිමක නාට්‍ය ආරම්භ වන අතර පසුව වේදිකාවට මෙහෙණිකෙනෙකුගේ චරිතය ප්‍රවේශ වේ. මෙම චරිත ත්‍රිත්වය හරහා දිග හැරෙන්නේ දෛනික යථාර්ථය වුවත්, වේදිකාවට නාට්‍ය නිෂ්පාදනයක් ලෙස එය ගෙන එද්දී නරඹන ප්‍රේක්ෂාගාරයට යම් අපහසුතාවයක් දැනෙන්නට පුළුවන. ඒ බෞද්ධ භික්ෂුනියෙකුගේ චරිතයක් වේදිකාවට ගෙන්වා ගැනීම හේතුවෙනි. ඊටත් වඩා මෙහි ඇති සංකීර්ණත්වය නම් භික්ෂුවක් නොමැතිව භික්ෂුණියක් චරිතයක් ලෙස ගෙන ඒමේදී ඇගේ චර්යයාව පිළිබඳව භික්ෂූන් වහන්සේලාට වඩා සමාජයේ ඇස යොමු වී තිබීමයි. එය සාමාන්‍ය ගැහැණියකගේ චර්යයාවන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීම/නිරීක්ෂණය කිරීමට වඩා වෙනස් නොවේ. මෙම සංවාදය ඔබ අප අතරට ගෙන එන්නේ, බයිලා ගහන දවසක් නාට්‍යයේ රචක සහ අධ්‍යක්ෂිකා දේදුණු කළුපහන යි. ඇය තරුණ රූපණ ශිල්පිනියක් ලෙස ඇය කාලයක් තිස්සේ ලැබූ පුහුණුවේ සහ අත්දැකීම් වල ප්‍රතිඵලයක් ලෙස මෙම කෙටි නාට්‍ය හඳුනාගත හැක.
ගද්‍ය පද්‍ය - ගායනා යනාදිය සෑම ආගමකටම පොදුවේ ආගමික භක්තිය දැනවීමේ මාධ්‍යයක් ලෙස යොදාගනී. එසේම පිරිත්, ස්ත්‍රෝත්‍ර, සෙත් කවි, කවි බණ, යාතිකා ආදිය ආගම් ප්‍රචාරණය සඳහා ද ඍජුවම බලපෑම් කරයි. මෙම මෙහෙණින් වහන්සේ රෙකෝඩින්ග් ස්ටූඩියෝ එකට පැමිණෙන්නේ කවිබණ ඇතුළත් කැසට්පටයක් නිෂ්පාදනය කරගැනීමටයි.
ඔබ අප හොඳින්ම දන්නා අත්විඳින අත්දැකීමක් වන්නේ කාන්තාවක් ඇයටම වෙන්වූ යැයි සමාජය විසින් පොදුවේ පිළිගන්නා කාර්යයන් වන දරුවන් වැදීම, හැදීම, ඉවුම් පිහුම්, ගේ දොර වැඩ, සත්කාර සමාදාන වැනි කාර්යයන් හැරුණු විට වෙනත් ආකාරයේ කර්තව්‍යන් කිරීමේදී ඇය කෙරෙහි තබන විශ්වාසය ඉතාම අල්පයි. උදාහරණයක් ලෙස හෙදියක් හෝ ගුරුවරියක් වැනි වෘත්තියකින් ඉදිරියට එන කාන්තාවක් එම කාර්යය සදහා සුදුසු යැයි පිළිගැනුනද, වෛද්‍ය ඉංජිනේරු, ගුවන්නියමු, ආරක්ෂක සේවය, දේශපාලන නායකත්වය දැරීම වැනි භූමිකාවක කාන්තාවක් නියැලී සිටීම ගැන සමාජය එතරම් විශ්වාසය තබන්නේ නැත. ඉතාම සියුම් ලෙස මෙය අධ්‍යනය කිරීමේදී නිගමනය කළ හැක්කේ බොහෝවිට මෙහිදී සිදුවන්නේ විශ්වාසය කඩවීම නොව, පුරුෂයෙකු වෙනුවට ස්ත්‍රියකගේ නායකත්වය සහ මූලිකත්වය පිළිගැනීමට සූදානම් නොවීමේ පුරුද්දයි. මෙය ලාංකීය බුද්ධශාසනයටත් පොදු වූවකි. කාන්තාවකගෙන් බණ ඇසීමට බොහෝදෙනෙකු පොදුවේ එතරම් සතුටු නොවේ. සිස්ටර් කෙනෙකු බොහෝවිට තම නේවාසික ස්ථානයට කොටු වී සිටියි. බොහෝ ආගම් වල කාන්තා පූජකවරියන් ඇත්තේද නැත. නැතහොත් සාන්තුවරියන්ගේ නම් ඉතිහාසය විසින් මකාදමා තිබේ.
ඒ හේතුව නිසා කාන්තාවන් ඇතැම් අවස්ථාවල සවිඥානිකව හෝ අවිඥානිකව තමා ස්ත්‍රියක් වීම නිසා සමාජයෙන් තමාට ලැබෙන ආකර්ශනය සහ අවධානය තම එදිනෙදා කාර්යයන් සාර්ථක කරගැනීම සඳහා යොදා ගනී. උදාහරණයක් ලෙස මෙම නාට්‍ය ආරම්භ වන්නේ, සෙව්වන්දි නැමැත්තියක් ආයතනයෙන් සේවයක් ලබා ගැනීමට එන බවට දන්වා ඇති අවස්ථාවක, මෙහෙණින් වහන්සේ පවසන්නේ, ඒ තමා බවත්, ඇය ආයතනයේ සේවය ලබා ගැනීමට අවශ්‍ය නිසා සෙව්වන්දි තක්ෂිලා රණසිංහ නැමති ඇයගේ ගිහිකළ නාමයෙන් පෙනී සිටි බවත් ය.
මෙහෙණි - ඒ මම . . . මේක නේ වැඩේ කරගන්න බැරිවෙනවා . . . මම මෙහෙණින් වහන්සේ නමක් කිව්වනම්. කලින් කිහිප තැනකටම කතා කරලා බැලුවා.
ලංකාවේ බෞද්ධ මෙහෙණි සසුනට බලපා ඇති සංකීර්ණතා රැසක් පෙළ මඟින් නිරාවරණය කරයි.
මෙහෙණි - හරියට ඉන්ඩ හිටින්ඩවත් ආරාමයක් නැතිකොට, මහත්තයාලා වගේ මහත්තුරු ඒවට පැනලා උන්ගේ අහවල් එක පෙන්නන්න හදනකොට, තවත් එවුන් පොඩි මෙහෙනින් වහන්සේලා ලව්වා උන්ගේ අහවල් එක අතගාගන්න හදනකොට.. ඇත්තමයි මට තිත්ත වෙලා තොපි වගේ පිරිමිත් එක්ක ඔට්ටු වෙලාම. ගිහියෙක් වෙලා ඉන්නවට වඩා දැන් ජීවිතේ බර වැඩිදෝ කියලත් හිතෙනවා.....
ධම්මික - හරි දැන් මොකක් ගැනද මේ කවි බණ කියන්නේ?
මෙහෙණි - "ලොකු උනාම මහණ වෙන්න"
ධම්මික - (මුවට මද සනහවක් නැගෙයි) මරු.. මරු.. හොඳයි වැඩේ වැඩ කලොත් කඳු යායෙම පන්සල් තමයි.
දැකුමට බුදු දහමේ චිරස්ථිතිය බලන්ට
ලොකු උනාම කැමතිද මහන දහම් පුරන්ට
මේක බුදුන්ගේ රට නේ.. දෙමළුන්ට හම්බයන්ට දුවන්ඩ තමයි වෙන්නේ.
මෙහෙණි - මම අදහස් කලේ ඒක නෙවෙයි.
ධම්මික - ඒ කිව්වේ?
මෙහෙණි - මම කියන්නේ මහත්තයෝ අඩු වයසින් මහණ වෙන්න එපා. ලොකු උනාම මහණ වෙන්න කියලා.
ඡායාරූපය 02නමුත් මෙහෙණියගේ මෙම අදහස් දැක්වීමෙන් පසු ධම්මික ඇයව විවේචනය කිරීම සඳහා යොදා ගන්නේ මෙහෙණිය ශාසනයටත්, ශාසනගත වීමට බලාපොරොත්තුවෙන් සිටින අයටත්, ඒවාගේම රටත් විනාශයක් ගෙන දෙන බවයි. එසේම ඔහු සැක පහළ කරන්නේ, මෙහෙණිය ශාසනයට ඇතුළත් වී ඇත්තේද චරිතවත් ස්ත්‍රියක ලෙස නොවන්නට ඇතියි යනුවෙනි. සුළු වැරැද්දක් දුටු හෝ සැකයක් පහළ වූ පමණින්ම ස්ත්‍රියව විවේචනය කිරීමට බලාපොරොත්තුවෙන් සිටින සමාජයේම තවත් එක් පෙනී සිටීමක් ලෙස මෙම අහේතුක ප්‍රකාශය දැක්විය හැකිය. ඒ අනුව ස්ත්‍රියට සමාජයේ පෙනී සිටීමට සිදුවී ඇත්තේ කොයි හරි මොහොතක බිඳී යා හැකි බඳුනක් මෙන් බියට පත් ස්වරූපයෙනි. මෙහෙණියකට එය දෙවරක්ම සත්‍යයකි. මෙයින් පෙනීයන්නේ කාන්තාවක් සමාජයේ තමාට පැවරෙන අතිශය සංකීර්ණ අභියෝග වලට මුහුණදීමට වැයකරන වීර්යය ඒ ආකාරයෙන්ම තම චරිතය සමාජයක් ඉදිරිපිට ආරක්ෂා කර ගැනීම සදහා සැළකිළිමත් වියයුතු බව හා එසේ නොවුණ හොත් දම්මික වැන්නවුන්ගේ දිව ඕනෑම අතකට නැවීමට නැකත් නොසොයන බවයි. මන්ද ඔවුන්ගේ බුද්ධි මට්ටම හෝ අවබෝධය සමාජයක් ඉදිරිපිට ප්‍රශ්න කිරීමට ප්‍රථම කාන්තාවක් හන්වඩු ගැසීම හෝ කොණ්කර දැමීම හා ඇයගේ ලිංගික ජීවිතය හා ඇගේ ශරීරය සමාජයට ඕනෑ ආකාරයට නඩත්තු කරහැකි දෙයක් යැයි ඔවුන් සිතන බැවිණි.
ඇය විසින් මෙහෙණි සසුන වෙත එල්ළවන තවත් අසාධාරණකම් රාශියක් මෙම අවස්ථාවේදී සාකච්ඡා කරයි. සංඝ සමාජයට සාපේක්ෂව අවම/මූලික අවශ්‍යතාවල නොමැති කම, යාන වාහන ආදී වත්කම් නොතිබීමත්, එමෙන්ම තම යටත් වැසියන් ලෙස තබාගෙන සිටින පිරිස්වෙත වියදම් කිරීමට ධනය නොමැති වීම යනාදිය. නමුත් ධම්මික මේ ආකාරයට ශාසනයේ දේශපාලන බල ව්යුහයන් අභියෝගයට ලක් කිරීම හෝ ඒ පිළිබඳව සාකච්ඡා කිරීම අවුරුදු දෙදහස් පන්සියයක් පරණ සම්බුද්ධ ශාසනයට අපහාස කිරීමක් ලෙස ඉස්මතු කරයි. මෙවැනි තත්වයන් වලට ශූර ලෙස පිළිතුරු දෙන මෙහෙණිය පවසන්නේ ඒ කාලෙට හදපු දහම් පද මේ කාලෙට ගලපා ගැනීමට අවශ්‍ය බවයි. ධම්මික දුරකථනයෙන් තමාට අණ කරන ස්වාමීන්වහන්සේලාට ඉතාම බය යටහත් පහත්ව කතා කළත්, ඔහු මෙහෙණියට ඉතාමත් අශෝභන ලෙස රටක් ජාතියක් ගැන කැක්කුමක් නොමැති කල්ලතෝනියක් යැයි කියමින් බැණ වදී. මෙයට පිළිතුරු දෙන ඇය පවසන්නේ, ප්‍රශ්න රාශියකට ඇය මුහුණදෙමින් සිටින බවයි. ඇය එම ප්‍රශ්න දිගහරින්නේ තමාගේ පන්සලේ පොඩි මෙහෙණින් වහන්සේලා හතර දෙනෙක් සිටින බවත්, අවබෝධයක් නොමැතිව කාන්තාවන් ලෙස චීවරේ ඇඳ ඇඳගතහොත් ඔවුන්ට කාලයක් ගතවනවිට විඳවීමට සිදුවන බවත් කියමින් ය.
මෙහෙණි - මේක දරන්න ඕනේ මේකෙ බර දැනගෙන මහත්තයෝ. උන්ට දැනෙන හැඟීම් මේ රෙද්දක් අස්සට දාගෙන කොච්චර විඳවනවා ද කියලා මම මගේ ඇස් දෙකට දැකලා තියෙනවා මහත්තයෝ. පුංචි කාලේ ම ඔවුන්ගේ හැඟීම් දැනීම් නැති කරනවා. පොඩි එවුන් කොටින්ට ට්‍රේන් කරනවා. ට්‍රේනින් එකක් නෙවෙයිද මහත්තයො
එහිදී මෙහෙණිය තවදුරටත් කියා සිටින්නේ ළමා විවාහ තහනම් කිරීම වගේම සාසනයට කුඩා දියණියක් දීමේදීද විරුද්ධ වියයුතු බවයි. මෙය අසා සිටින ධම්මික මෙසේ පිළිතුරු දෙයි.
ධම්මික - ඒත් ඉතිං මෑණියෝ කවි බණ කියනවට මං කැමතිනෑ. හාමුදුරුවෝ කෙනෙක් නං කමක් නෑ.. අනික ලහිරු මල්ලි මෙතන මේ මෙහෙණින්වහන්සේලාගේ වැඩ කරන්නේ නෑ.
ඡායාරූපය 03ඔහු මුල සිටම මෙහෙණිය කවිබණ කැසට් පටය කිරීමෙන් තමාගේ ව්‍යාපාරයට සිදුවන අලාභය ගැන සිතන ධම්මික මේ කාරණා ඇසීමෙන් එය තවදුරටත් ඇයට බාදා පැමිණවීමට අවස්ථාවක් බවට පත් කරගෙන මෙසේ කියයි
ධම්මික - මං කියන්නේ ඕක කරන්ඩ එපා. කීයටවත් කරන්න දෙන්නෙත් නෑ. කරන්න හිතන්නත් එපා
මෙම අවස්ථාවේ ධම්මිකගේ තර්ජනාත්මක ස්වභාවයෙන් ඇයව බිය ගැන්වීමට උත්සාහ කරයි. කෙසේ වෙතත් ධම්මිකගේ ක්‍රියාකලාපය හා ඔහු බියට පත්වීම පසක් කරන්නේ කාන්තාවකගේ නායකත්වය හා ස්වාධීනත්වය නුරුස්සන බලවේග අපට එදිනෙදා කොතැනදීත් මුණගැසෙන බවයි.
ඡායාරූපය 04


.jpeg)


Comments
Post a Comment