'පවන' කළේ මරණය අතේ තියාගෙන...




[ 'පවන' කළේ මරණය අතේ තියාගෙන...]


මේ මිත්‍රත්වය මෙහෙම පළුදු වෙලා තියෙන්නෙ දේශපාලනය නිසා. ඒගොල්ලන්ට ඕන ඕන දේවල් කරලා, ඒගොල්ලන්ගෙ බලය රැකගන්න නිසා, මේ සාමූහික සමගියට වැටක් බැඳිලා තියනවා. ඒ නිසා දෙමළ ජන ගී සංගත තැටියක් ම කළා. රන් සීනු කියලා දෙමළ සමාජයෙන් සම්මානයක් දුන්න මට.


ගේ තාත්තා ඇඳුම් මහන්නෙක්. තාත්තා වැඩ කළේ කොළඹ සමාගමක. අපි නම දෙනකුගෙන් යුත් පවුලක දරිද්‍රතාවයෙන් අන්ත තත්ත්වයට පත් වෙච්ච පවුලක්. ගමේ ඉඳල කොටහේනේ ගෙවල් වලට ඇවිල්ලා අපි හුඟාක් දුක් වින්දා. අපි කොටහේනේ කාශිටි වත්තෙ හිටියේ.  අපිත් එක්ක මුස්ලිම්, සිංහල, දෙමළ සෑම ළමයෙක්ම අපේ වත්තේ හිටියා. අපි හොඳට සාමූහිකත්වය පුරුදු වුණා. මම හිතන්නේ මගේ තාත්තා ඉතාම ශක්තිසම්පන්න පියෙක්. එතුමා සතියෙ පඩිය ගත්තෙ. සුමානේ පඩි අරගෙන සුමානෙට ඕන දේවල් සැලසුම් කළා. හාල් මෙච්චරයි, පොල් මෙච්චරයි, සීනි තේ කොළ මෙච්චරයි, අපිට කන්න දෙන්නෙ මෙච්චරයි, අද දවසෙ මට පුළුවන් මෙච්චරයි. ඒ විදිහටයි සැලසුම් කළේ. ඒ නිසා මැරෙනකං ම එයා කාටවත් සත පහක්වත් ණය  උන්නෑ. කොච්චර දුප්පත් වුනත් හොදට සැලසුම් කළා. අපිටත් ඒක පුළුවන් වුණා. ඇත්තටම අපි ඉගනගත්තෙ කොටහේන ගුණානන්ද විද්‍යාලයේ. අපේ දක්ෂතාවයන් අඳුනගන්න අම්මට තාත්තට කාලය නැතිවුණා. ඒගොල්ලන්ට තිබුනේ අපිට කන්න බොන්න දෙන්නේ කොහොමද? අපිට ඇඳුම් පැළඳුම් ලබාදෙන්නේ කොහොමද? අපේ අද දවසේ ජීවිතේ ගෙවෙන්නේ කොහොමද? කියන එක හොයන්ඩ විතරමයි. ඒගොල්ලො මොනවත් දැනගෙන තිබුණේ නැහැ. මම කොටහේන ගුණානන්ද විද්‍යාලයේ, එක එක දේවල් වලට දක්ෂතා පෙන්නුවා. මට හොඳට මතකයි මගේ පන්තිභාර ගුරුතුමියක් හිටියා එන්. මාග්‍රට් පෙරේරා කියලා. 


image courtesy: Nanda Malini ගීත එකතුව(FB page))මේ ගුරුතුමිය තමයි මාව ගුවන් විදුලි ළමා මණ්ඩපයට එක්කරගෙන ගියේ. කරුණාරත්න අබේසේකර අයියාගේ ළමා මණ්ඩපයට. 1953 දි අවුරුදු දහයයි මට. මගේ වයස දැන් හොයාගන්න. මම 1943 අගෝස්තු මාසේ 23 වැනිදා ඉපදුනේ. මම දැන් මෙහෙම හිටියට මට අවුරුදු හැත්තෑ හයකුත් ඉවරයි. මම හිතන්නේ ඒ කුඩා කාලයේ මාව එක්කරගෙන ගියේ එයාම ඇඳුම් හදලා. අපිට තිබුන් නෑ හොඳ සපත්තු. තාත්තාට පුළුවන් කමක් තිබුණෙ නෑ ඒවා අරන් දෙන්න. ඒ කාලේ තිබුණා කට්ට සෙරෙප්පු කියලා සෙරප්පු ජාතියක්. අම්මල තාත්තලා දන්නවා ඇති කට්ටා සෙරෙප්පු. සත තිහයි, සත පනහයි, සත හැටයි තමයි වැඩිම එක. පාට පාට තීන්ත ගාලා තියෙන්නේ. ඕක තමයි දාන්නේ. සපත්තු මේස් දාන අයත් හිටියා. මම නම් දාගෙන ගියේ කට්ට සෙරප්පු. මම එනකොට ටකාස් ටකාස් ටකාස් ගාලා සද්දේ එනවනේ කට්ට සෙරප්පුවෙ, ඉතින් ඔන්න කට්ටයා එනවා කියනවා. තාමත් ඉන්නවා යාළු‍වො "හලෝ කට්ටය" කියලා මට කතා කරන, අන්න කට්ටයා යනවා කියනවා. ඉතිං ටීචර් සපත්තු දෙකක් ගෙනල්ල දාලා හැදුව ළමා මණ්ඩපයට යන්න ඕන විදියට. ඇඟිලි ඈත් වෙලානෙ, ඔක්කොම ලං කරලා හදලා දාලා දුන්න. ඉතින් ගිහිල්ලා කරුණාරත්න අබේසේකර අයියට මාව බාර දුන්නා. ඒ කාලේ දක්ෂතාවයක් තියෙන කෙනෙක් ව ගිහිල්ලා බාර දෙන්න පුළුවන්. මට මගේ අනාගතය, අතීත හොඳට මතකයි. අවුරුදු හැත්තෑ හයක් පහු උනාට ඒක මට හොඳට මතකයි. ගිහිල්ලා කරුණාරත්න අබේසේකර අයියට කිව්වා “සර් මෙයා අපේ ඉස්කෝලේ, බොහොම දක්ෂ ළමයෙක්, හරි දුප්පත්. මෙයාට පුලුවන්නම් උදව් කරන්න” කියලා. ගිහිල්ල නිකම්ම නිකන් හිටි අවස්ථාත් තිබුණා. ඔහොම තිබිලා එක දවසක් අවස්ථාවක් දුන්නා.


ඔබගේ පාමුල සඳුන් ගසක් වී සුවඳ මලින් සරසන්නම්…... බුදු සාදු බුදු සාදු සඳුන් ගසක් වෙන්නම් මම සමන් වැලක් වෙන්නම් ............



මං ළමා මණ්ඩපයේ අවුරුදු හතරක් විතර හිටියා. මෙහෙම සින්දු කියමින් ඉන්නකොට අමරදේව සර්  ගුවන් විදුලියේ වැඩ. එතුමා එහෙ යනව මෙහෙ යනව. අපි සින්දු කියන ඒවත් බලනවා. ඔහොම කාලයක් ගතවෙනකොට  එතුමාට ලැබුණා ලංකාවේ පළවෙනි වර්ණ චිත්‍රපටිය 1962 දී. 1964 චිත්‍රපටිය  ආවට, ශ්‍රී ලංකාවේ පළවෙනි වර්ණ චිත්‍රපටිය. කිසිම කෙනෙක් නොදන්න මාව තෝර ගත්තා එතුමා මේ චිත්‍රපටියේ ගීත ගායනා කරන්න. 

ගලන ගඟකි ජීවිතේ... දයාලූ ලෝකයේ, මිහිර පතා ආදරේ ලපලු නටයි ගං තෙරේ….



ඉතින් ඒ 1962, අදත් ගුවන්විදුලියේ හැමතැනම තියෙන්නේ එදා කියපු ගීතය. ඔහොම ඉන්නකොට ගුවන්විදුලියට එකතු වුණා. තරඟයක් තිබ්බ ගුවන්විදුලියේ. කිව්වේ එයාශීප් ගීත තරගය කියල. ටින්කිරි එකක දැන්වීමක් හැටියට තමයි ඒ වැඩසටහන කළේ. ආර්යසේන මිල්ලවිතානාරච්චි කියන නිෂ්පාදකතුමා තමයි වැඩසටහන මෙහෙයවූවේ. ඒ තරඟයට අපි වට දෙක තුනකින්ම ඉදිරිපත් වෙලා අන්තිමට මමයි, වික්ටර් රත්නායක යි  තරග කළේ. මම දින්න. මම එක. වික්ටර් රත්නායකන් දෙක. පළවෙනියට ටිකට් එකක් හම්බවෙනවා මුම්බායි වලට යන්න. ඒ කාලෙත් මට මොලේ තිබුණ දේවල් හදාගෙන යන්න. ඉතින් මම තාත්තට කිව්වා. අපි දකින මොන බොම්බායක්ද, අපිට බොම්බායක්  යන්න දන්න්නෙත් නෑ. අපිට එහෙම එකක් නෑ. අපි ගිහිල්ලා මේකට යන වියදම ඒ මහත්තයල
ගෙන් ඉල්ලමු  සල්ලි වලින්. එතකොට අපිට මොනවා හරි දෙයක් කරන්න පුළුවන්. ඒ ගමන තාත්තා කිව්වා එහෙම දෙයිද බං සල්ලි කියල. අපි ආයතනයට ගියා. කොටුව ඔරලෝසු කණුව ගාව. ගිහිල්ලා ඉතින් මම ම තමයි පැනලා කිව්වේ, මහත්තයා මුම්බායි යන්න අපි දන්නෑ, අපිට මේක එපා, අපි හරි දුප්පත්, අපිට පුළුවන් නම් මේකට සල්ලි දෙන්න කියලා. ඒ ගමන  කීයද්ද සල්ලි දුන්නා. කීයද්ද කියලා තමයි මට මතක නැත්තේ. කිසි දෙයක් ඇහුවේ නෑ. සල්ලි දුන්න ඒගොල්ලො. මේ ගමන ඉතිං හරි ආසයි තාත්තටයි මටයි. මං කිව්වා ඉතින්  තාත්තෙ අපි දැන් මොනවා හරි හොඳ දෙයක් කමු කියල. අපි එහෙම දේවල් කාලා නෑ. ඒ ගමන අපි චැකම් වීදියේ තියෙන තැනකින් මට හොඳට මතකයි එලවළු රොටියක් කාලා, සරුවත් බිව්වා. මාර ආසයි. චටාස් චටාස් ගාල ගාලා අයිස් කැට දාලා සරුවත් හදනවා. හොඳ සරුවත් එකක් බිවුවා. බීලා  දැන් එන ගමන් මං තාත්තාට කියනවා, තාත්තා ඇඳුම්නෙ මහන්නනේ, ටේලර් නේ. තාත්තා ඇඳුම් මඳින්නේ අගුරු ඉස්ත්‍රික්කයේ. දැන් නං ඒවාත් නෑ.  අඟුරු අරන් එනවා සල්ලි වලට. ඉතින් චූටි උණ බම්බු කෑල්ලක් තියාගෙන ඒ අඟුරු දාලා තාත්ත පිඹිනවා ගින්දර එන්න.  තාත්තගේ ඔලුවේ, කොණ්ඩෙ, ඇගේ ම දුම් කුඩු  යනවා.  හරි දුකයි ඉතින් අපිට ඒක බලන්න. ඒකෙන් තමයි මදින්නේ සේරම දේවල්. ඉතින් මට තිබුණා ඔළුවේ පොඩි මේව්වා එකක්. මං කිව්වා තාත්තට  අපි ඉස්තිරික්කයක් ගමු සල්ලි හම්බ වෙලානේ කියලා.  තාත්තා කිව්වා උඹට පිස්සුද,  ගෙදර ලයිටුත් නැහැ, කොහෙ ඉස්තිරික්ක ගන්නද  කියලා. මම කිව්ව ලයිටුත් ගමු කියලා. ඉතිං ඒ සල්ලි වලින් ලයිට් ගත්තා, තාත්තට ඉස්තිරික්කයක් ගත්තා,  සුමාන එකකට දෙකකට හොඳට කන්න කෑම ගෙනාවා. මාළු අරව මේවා ගෙනාවා, හොදට කන්න. ඊට පස්සේ තාත්තට  උණු වතුර බෝතලයක් ගත්තා.  තාත්තා අත්වැඩ කරද්දි අම්මා රෑට තේ කෝප්පයක් හදලා තියනවා වහලා. ඉතිං තාත්ත රෑ වෙනකන් වැඩ. අපි හොඳටම දන්නවා මේ සීතල වෙච්ච තේ තමයි තාත්ත බොන්නේ. උණු වතුර බෝතලයක් ගන්න කිව්ව තාත්තට. ඉතින් උණුවතුර බෝතලයක් ගත්ත. අරගෙන ඉතින් ඔහොම ජීවිත ගමනක් අපි ආවා.


ඇත්තටම හුඟක් අය මගෙන් අහනව මගේ මේ ගීත කලාව මෙහෙම වෙනස් උනේ ඇයි කියලා, ඇඳුම මේවා වෙනස් උනේ ඇයි කියලා. ඔබ සරල උනේ කොහොමද කියලා අහනවා. ඉතින් මේ දේවල් ඇත්තටම අපි අත්දැකීමෙන් දැක්කේ. අපි පන්ති පරතරයක් දැක්කා, උස් පහත් භේදයක් දැක්කා, කන්ඩ නැති මිනිස්සු දැක්කා, ඒගොල්ලන්ට සළකන විදිය දැක්කා, උගත්කමට රැකියාවක් නැති කම දැක්කා. උගතට හරියට සැලකුමක් නැති බව දැක්කා. හුඟක් දේවල් ඉගෙන ගත්තා. ඒ නිසා මගේ සරල ගී වැඩසටහන්වල පවා මම හුඟක් ඒ දේවල් පිළිබඳව කියන්න ගත්තා. සින්දු කියන්න එහෙමත් ගත්ත. ඉතින්, ඒ නිසා මම ඒ දැක්ක දේ තමයි හුඟක් දේවල් වලින් කරේ. ශ්‍රවණ "ආරාධනා" කියලා වැඩසටහනක් කලා. "සත්‍යයේ ගීතය" කියලා වැඩසටහනක් කළා. සත්‍යයේ ගීතයෙන් ආදරේ පැති ගොඩක් ගැන කතා කළා. ඒවත් අපි දැක්කා, ආදරේ බිඳ වැටෙන ඒවා, ළමයි ආදරේ කරලා ඔළුව නරක්වෙලා යම් යම් අකටයුතු කම් කරගන්න අවස්ථා, ඒ වගේම දෙමාපියන් අතර තිබිච්ච ප්‍රශ්න. ඒවා හුඟක් දැකලාම, ආදරේ සුන්දරත්වය, ආදරේ වේදනාව, ආදරයේ තියෙන කටුකබව, මේ සියලු දේ කියන්න ගත්තා, සත්‍යයේ ගීතය ප්‍රසංගයෙ. ඊට පස්සේ "පවන" කළා. පවන කළේ මරණය අතේ තියාගෙන. ඇත්තටම අපට එහෙම බයක් තිබුනෙත් නෑ, අපි ගෙනිච්ච චින්තනය උඩ. අපට බයක් තිබුණෙ ම නැහැ. අපි පවන කළේ, දැක්කා රටේම තරුණයින්ට තිබිච්ච අසහනය. ඒ කාලේ අධ්‍යාපනයෙන් ඉස්සරහට යන්න අත දෙන්න අය හුඟක් අඩුයි. ඒ නිසා ඒගොල්ලන්ට තිබුණා වේදනාවක්, ඒගොල්ලන්ට තිබුන පීඩනයක්. අවි අතට ගත්තේ තිබුන ප්‍රශ්න ගොඩක් නිසා. අද කාලේ එහෙම වෙන්නේ නෑ. ඔයාලට පුළුවන් හොඳ විදිහට අඩිතාලම හදාගන්න, හුගක් දේවල් තියෙන නිසා. ගීතයක් කියන්නේ මිනිත්තු දෙකයි තුනයි. ඒත් අපිට පුළුවන් වුණා දේවල් කියන්න. ඒ නිසා තමයි අද අපි මේ තත්ත්වයට ඇවිල්ලා, අපිට පුළුවන් වෙලා තියෙන්නේ මෙහෙම හඬක් නගන්න. අපි වේලක් ඇර වේලක් කෑවෙ. අපිට තිබුණේ නෑ එහෙමට දේවල්. වේලක් ඇර වේලක් කෑවා. අපේ යාලුවෝ අපට උදව් කරා. පන්සලේ හාමුදුරුවෝ, අපේ කොටහේන පල්ලියේ ස්වාමි උදව් කළා. හුඟක් දේවල් අපි ලබාගත්තා. විශ්වවිද්‍යාලයෙ නොගියට ගොඩාක් අත්දැකීම් ලබාගත්තා. අපි පවන ප්‍රසංගය කරලා ජීවිතේ බේරගන්න ඉන්දියාවට පැනලා ගියා. ඉන්දියාවේ වන්දනා නඩ අපිට කන්න බොන්න දුන්නා. උදව් කරා. එහෙදි නිකම්ම ඉන්න බැරි නිසා අඩයාල් කියන නගරයේ ද්‍රවිඩ ජන ගායනා ඉගෙනගෙන ආවා. ඉගෙනගෙන ඇවිල්ල මෙහෙ පුවත්පත් සාකච්ඡාවක් පවත්වලා, කිව්වා අපි මේ ද්‍රවිඩ සමාජයත් එක්ක අපි යාලු වෙන්න ඕන. අපි ඒ ගොල්ලන්ගේ භාෂාව ඉගෙනගන්න ඕන. මේ මිත්‍රත්වය ඇති වෙන්න ඕන. මේ මිත්‍රත්වය මෙහෙම පළුදු වෙලා තියෙන්නෙ තියෙන්නෙ දේශපාලනය නිසා. ඒගොල්ලන්ට ඕන ඕන දේවල් කරලා ඒගොල්ලන්ගෙ බලය රැකගන්න නිසා මේ සාමූහික සමගියට වැටක් බැඳිලා තියනවා. ඒ නිසා මේක අවශ්‍යයි. ඒ නිසා දෙමළ ජන ගී සංගත තැටියක් ම කළා. "රන් සීනුව" කියලා දෙමළ සමාජයෙන් සම්මානයක් දුන්න මට. ආරාරෝ අරිරරෝ ආරාරෝ අරිරරෝ ගීතය කියන්නේ මිනිසුන්ගේ හදවතට විඳින, වැටෙන දේවල්. අපි අයන්න කියන්න ලොවටම ඇහෙන්න කියලා කිව්ව ගීතයේ අන්තිමට කිව්වේ, කාසිපනම් හිටි හැටියේ සතුරෝ ගෙනයති රහසේ පොතින් පතින් ලද දැනුමේ බලය සදාකල් සුරැකේ....කියලා.

අයන්න කියන්න ලොවටම ඇහෙන්න .....



මට මතකයි ඉස්සර අපේ වත්තෙ හරියට කෑම යනවා. අපි තාත්තගෙන් ඉගෙන ගත්ත ගොඩක් දේවල්. ජීවිතේ ජීවින පාඩම්. වඩේ කාරයා, හැලප කාරයා යනවා. හරිම  ආසයි. ඒ වුණාට ඉල්ලන්න බෑ. තාත්තගේ සතියෙ පඩියටනේ ඔක්කොම තිබුණේ. ඉතිං කෙළින්ම තාත්තා කියනවා ඉල්ලන්න එපා කිසි දෙයක් අද මට දෙන්න බෑ කියල. ඇත්තටම මම පොඩ්ඩක්වත් සැලෙන්නේ වත්, ලැජ්ජා වෙන්නේ වත් නෑ පුතේ දුවේ මගේ මේ ජීවිත කතාව කියන්න. මම ඒකෙන් ලබාගෙන තියන පන්නරය ඉතාම වටින පන්නරයක්. මොකද පුතාලා දුවලා හිතට ගන්න අපි බොරුවක් කිව්වොත් බොරු දහයක් කියන්න ඕන ඒක හදන්න. ගීත තරඟයෙන් මම පළවෙනියා වෙලා සල්ලි අරගෙන මෙහෙමයි  කළේ කියලා පත්තරේ දැම්මහම,  වික්ටර් රත්නායකත්  ජනප්‍රිය නැහැ, මමත් ජනප්‍රිය නැහැ ඒ කාලේ. වික්ටර් රත්නායක මට ලොකු ලියුමක් එවලා තිබ්බා. මං ගාව තාම තියෙනවා ඒ ලියුම. එයා ලියලා එව්වේ එයා දෙවැනියා වෙච්ච එකට ඉතාම කැමතී කියලා. මොකද එයා පළවෙනියා වුනානම් මට මේවා කරන්න වෙන්නේ නෑනේ. ඔහු ඒකට මට ආශිර්වාදයක් කලා. ඉතිං හරිම සන්තෝසයි.  අපේ රටට සේවය කරන්න ඕන. ඔය ගොල්ලො පිටරට යන්න ඕන, ජාත්‍යන්තර  අත්දැකීම් ලබන්න ඕන, විවිධ භාෂාවන් ඉගන ගන්න ඕන. නමුත් අපේ රටට සේවය කරන්න ඕන, මෙහෙ හුස්ම අපට ඕන, මෙහෙ සුවඳ අපට ඕනේ. උදව් කරන්න ඕන,  ඒ වගේම තමයි අම්මා තාත්තා ගුරුවරු. මම සිංදුවක් කිවුවා මෙහෙම. 

මිහිමඩලේ  අඳුරුකුසේ දිය උල්පත අම්මා………



අම්මට උපමාව අම්මාම විතරමයි. තාත්තාට උපමාව තාත්තාම විතරමයි. අම්මා තාත්තා හොඳට බලන්න. ගුරුවරු හොඳට බලන්න ඕනේ. මාග්‍රට් පෙරේරා ගුරුතුමී මම තාම සමරනවා. කරුණාරත්න අබේසේකර අයියා, අමරදේව සර්ට මා අත්දෙක උස්සලා වඳිනවා. අපට නැවත ජීවය දුන්නේ එතුමන්ලා. ඉතින් මේ ගීය මම කියන්නේ පුතාලට. පුතාලා අපේ රටට සේවයක් කරන්න උත්සාහ කරන්න. මේ ගීය මම කිව්වේ මීට අවුරුදු විසි පහකට ඉස්සර වෙලා. මහාචාර්ය සුනිල් ආරියරත්න  මේය  රචනා කළා. තනුව නිර්මාණය කළේ මමමයි. 


සරුංගලේ වරල් සැලේ නිසංසලේ රුවන් තලේ………..



මගේ ජීවිත කතාව මං කෙටියෙන් ඉදිරිපත් කළේ. මේ කතාවෙන් පුතාලා දූලට කිසියම් ආදර්ශයක් ලබා ගත්තා නම් එකට මං සන්තෝසයි. මම අදත් ඉන්නෙ ඉතාම සැහැල්ලුවෙන්. මට ඕන දෙයක් අතාරින්න පුළුවන්. මම හිතනවා ශ්‍රී ලංකාවේ පුරවැසි දියණියක් හැටියට මට කරන්න පුළුවන් මගේ විෂය පථයෙන් යම් කිසි දෙයක් කෙරුවා කියලා. බොහොම ස්තුතියි! 


[ විශාරද නන්දා මාලනී මහත්මිය විසින් ශිෂ්‍යයන් පිරිසක් අමතා සිදුකළ කථාවක් ඇසුරිනි ]


-චාමනී දර්ශිකා-


එකල රජයෙන් තහනම් කල ගීත ඇල්බමය  'පවන'  (221 B Sherlock FB පිටුවෙනි)





Comments

Popular posts from this blog

කාලගෝලගේ දේහමය දේශපාලනය තේරුම් ගැනීම.

බයිලා ගහන දවසක්

“Difficulty” is a cultural script - ‘අභිවහනයක් ලෙස සලකා’ අධ්‍යනය කිරීම